බතලේගලටත් මහ සෑයක් – “කන්දක් දැක්කොත් ඉවරයි” ලු!

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බතලේගල නම් පර්වතය මත “මව්පිය ගුණ සමරු මහ වෙහෙර” නමින් සෑයක් ඉදි කිරීම මගින් පරිසර විනාශයක් සිදු වන බවට පරිසරවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිය විරෝධය පළ කරනවා.
‘පුංචි සීගිරිය, Bible Rock’ යන අන්වර්ථ නම් වලින් ද හඳුන්වන මෙම පර්වතය දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමඳ ආකර්ශනයට ලක් වූ ස්ථානයක්.
නමුත් මීට වසර කිහිපයකට පෙර මෙහි සෑයක් ඉදිකිරීම ආරම්භ කළ අතර මේ වන විට සමාජ ක්‍රියාකාරීන් සහ බෞද්ධ සංවිධාන මුල් වී මෙහි ඉදිකිරීම් සඳහා සිය ශ්‍රම, ධන පරිත්‍යාගයන් සිදු කරමින් පවතිනවා. මේ සඳහා ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.
පරිසරවේදීන් චෝදනා කරන්නේ බතලේගල පුරාණ විහාරස්ථානයේ වැඩිදියුණු කිරීමක් බව පවසා සිදු කරන මෙම ඉදිකිරීම් සඳහා ගල් බෝර දැමීම සහ කොන්ක්‍රීට් භාවිතය හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදු වන බවයි.
පුරාවිද්‍යාත්මක සහ ජෛව විද්‍යාත්මක වටිනාකම් රැසක් ඇති බතලේගල සිදු වන මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු අංශවල අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවට ද අවධාරණය කෙරෙනවා.