ටයිටැනික් සොයා ගිය ටයිටන් ඛේදාන්තය – සබ්මැරීනය පුපුරා ගිහින්

මුහුදුබත් වී ඇති ටයිටැනික් නෞකාව වෙත යාත්‍රා කිරීමේදී අතුරුදන් වූ OceanGate Titan සබ්මැරීනය සෙවීමේ දැවැන්ත ජාත්‍යන්තර මෙහෙයුම් වලට අමිහිරි අවසානයක් ගෙන දෙමින්, අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි පුද්ගලයන් පස් දෙනා “පිපිරුමක්” මගින් මිය ගිය බව එක්සත් ජනපද වාර්තා සඳහන් කරනවා.
ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය පමණ වන විට එහි සුන්බුන් සොයා ගැනීමත් සමඟයි.
පසුගිය ඉරිදා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට ඇමතුමක් ලැබුණේ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් සිට සැතපුම් 900 ක් (කිලෝමීටර් 1,450) පමණ නැගෙනහිරින් සබ්මැරීනය සමඟ සම්බන්ධතා නැති වූ බව පවසමින්.
එතැන් පටන් එක්සත් ජනපද නාවික හමුදාව සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
කෙසේ වෙතත් පිපිරී ගියා යැයි සැලකෙන සබ්මැරීනයේ ගමන් කළ OceanGate සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාගේ බිරිඳ, Titanic අනතුරින් මිය ගිය තැනැත්තියකගේ පරපුරේ මී මිණිබිරියක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ තවත් අභිරහසක් ලොවට ඉතිරි කරමින්.