හාල් මිල 15 කින් බස්සන්නැයි ඉල්ලීම් ?
සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 දක්වා අඩු කරන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 220 ක සිල්ලර මිලට අලෙවි කළ හැකි බැව් තමන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ යැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා දේශයට ප්‍රකාශ කළේය.
ආනයනකරුවන් ආහාර ද්‍රව්‍ය නිකුත් කරනු ලබන්නේ මහා පරිමාණ තොග වෙළෙඳුන්ට වන අතර ඔවුහු කුඩා පරිමාණ තොග වෙළෙඳුන්ට ද, ඔවුහු සිල්ලර වෙළෙඳුන් වෙත ද බෙදා හරිති. මෙම බෙදාහැරීම් ජාලයේදී ප්‍රවාහන ගාස්තු, පැටවුම් හා බෑම් කුලී වැනි වෙනත් වියදම් සඳහා 8% ත් 10% ත් අතර ප්‍රමාණයක් වැය වන බවද ඔහු සඳහන් කළේය.
පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර ලබා දුන්නද ඒ සඳහා ලබා දී තිබූ කාලය සති දෙකකි. එවැනි කෙටි කාලයක් තුළ සහල් ආනයනය කළ හැක්කේ තමිල්නාඩුවේ දකුණු කෙළවරේ ඇති වරායවලින් පමණි. සුළු කාලයක් තුළ ආනයනය කිරීමේදී සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවන බවද ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් ආනයනය කිරීමේදී අඩු මිලකට ආනයනය කළ හැකි බවද ඔහු සඳහන් කළේය. දැනට ඇණවුම් කර ඇති සහල් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයි ද දෙසැම්බර් 20 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ මෙරටට ළඟාවනු ඇතැයි ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. 12 වැනි බ්‍රහස්පතින්දා වන විට නාඩු සහල් මෙට්‍රික් ටොන් 440 ක් පමණ කොළඹ වරායෙන් ගොඩබා ඇතැයි වරාය මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
රියන්ජන් සුරේෂ් ද සිල්වා I