NEWS

කුරුණෑගලින් කොවිඩ් රෝගීන් 171ක් : ජනතාව ඒකරාශීවන රැස්වීම් සඳහා අවසර නෑ

ජනතාව ඒකරාශීවන කිසිදු උත්සවයක් සඳහා අවසර ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා. ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඉදිරි මාසයක කාලය තුලදී දැඩි සෞඛ්‍ය නිති රීති අනුගමනය නොකළහොත් මෙරට තුල කොවිඩ් ව්‍යාපාතියේ වර්ධනයක් විය හැකි බවින් ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් යලි සති දෙකක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමට ද තීරණය කර ඇති බවත් විවිධ රටවල් තුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 578ක් වන අතර ඉන් 62 දෙනෙකු විදේශ රටවලින් සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 516 දෙනා මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වන බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා වුවා.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව, ගනේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100 දෙනකු, කුලියාපිටියෙන් 59 දෙනෙකු, කුරුණෑගලින් 10 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 29ක් සහ වෙන්නප්පුවෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 18 දෙනා බැගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13ක් වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා.