NEWS

කොවිඩ් තුන් වෙනි රැල්ලක් අත ලඟ..? වහාම ක්‍රියාත්මක වන්නැයි ඉල්ලීමක්

කොවිඩ් තුන්වැනි රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මාසයක කාලයක් දැඩි නීති රීති පනවන ලෙස සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (21 වැනිදා) පැවැති කොවිඩ් මර්දනය පිළිබඳ ක්‍රියාකාරී කාර්ය සාධක සමාලෝචන කමිටුවේදී වෛද්‍යවරු ඉල්ලා සිටියහ.

විශේෂයෙන්ම වෙසක් පුන් පොහොය දින ක්‍රියාත්මක වෙසක් කලාප, දන්සල් නතර කරන ලෙසත් විහාරස්ථානවලට පැමිණෙන ජනතාව සීමා කරන ලෙසත් වෛද්‍යවරුන් මෙහිදී ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් මෙම ඉල්ලීම කර ඇත. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාව ඒකරාශී වීම හේතුවෙන් යළි කොවිඩ් රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයක් ඇති වූ බැවින් සියලුම කර්මාන්ත ශාලාවල අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ යුතු බවද මෙහිදී යෝජනා කර ඇත. මෙම ක්‍රියාමාර්ග කඩිනම් නොකළහොත් තුන්වැනි රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව වෛද්‍ය මතය වී තිබේ.

දිවයින පුරා ​රෝහල්වල පවතින දැඩි සත්කාර ඒකකවල 500ක් පමණ වූ ඇඳන් ධාරිතාව තවත් වැඩි කිරීමටද තීරණය විය.

දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණ 25,000ක් සිදුකිරීමේ හැකියාව ඇතත් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් පරීක්ෂණ සිදුකිරීම අඩුකර තිබුණි. වර්තමානයේ රෝගීන් හමුවීම වැඩිවී ඇති බැවින් දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණ 15000ක් කිරීමටද මෙහිදී තීරණය කරන ලදී. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබාදීමටද තීරණය විය.

මෙම කමිටුවේදී ලබා ගත් තීරණ එළැඹෙන සිකුරාදා (23 වැනිදා) ජනාධිපතිවරයාට යොමු කර අවසන් තීර්ණයක් ගන්නා බව ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මෙහිදී ප්‍රකාශ කර ඇත.