NEWS

ලංකාවේ ටර්නින් පොයින්ට් එක “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාසට ඇමතිකමක් ලැබිය යුතුයි – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය කිරීමේ තෝතැන්නක් බවට පත්වී ඇති බවට දැක්වෙන නිවේදනය සම්පුර්ණයෙන් අසත්‍ය බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන විවිධ මතවාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මෙම අදහස් දැක්වීම සිදුකර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙරට මුදල් විශුද්ධිකරණ පනතක් ඇති බවත් මේ දක්වා එම පනතේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බවත් ඇමෙරිකානු තානාපතිවරිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවද ඇමතිවරයා කියා සිටියා.

එමෙන්ම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර පරිදි කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පත අනුව මෙරටේ කිසිදු පනතක් උල්ලංඝණය කිරීමක් සිදුනොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

” විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් හිමිවිය යුතුයි. එය අපි පිලිගන්නවා. නමුත් එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ කිසිදු ගැටලුවක් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට පැමිණියේ නැහැ. එහෙම ආවනම් අද එතුමා සිටින වැරදි මතයේ ඉදන් තවදුරටත් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ නැහැයි කියන එකයි අපේ මතය” අමාත්‍යවරයා කියා සිටියා.

පෝට් සිටි ව්‍යාපාරය නිත්‍යානුකුල බවට නීතිපතිවරයා විසින් සඳහන් කර තිබෙන අතර ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය මතය දැනුම් දීමෙන් පසු යම් විදිහකින් එම පනත් කෙටුම්පතේ සංශෝධනය විය යුතු වගන්තියක් වේනම් එය සිදුකිරීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියා. අපි කිසිදු විටක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එහා දෙයක් සිදුනොකරන බවටද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

මේ පෝට් සිටි ව්‍යාපාරය තමයි ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය වන්නේ. නමුත් අද වෙනකොට විපක්ෂය ඇතුළු බලවේග කිහිපයක් ඊට එරෙහිව ක්‍රියාත්මක වනවා. ඒකට හේතුව මේ ව්‍යාපෘතියට එරෙහිව විදෙස් බලවේග කිහිපයක් ක්‍රියාත්මක වනවා. මොකද මේ ව්‍යාපෘතිය තුලින් ශ්‍රී ලංකාව සිංගප්පුරුවට එහා සංවර්ධනයක් කරා රැගෙන යන්න හැකියාව තියෙනවා. කොටින්ම කිව්වොත් ලංකාවේ ටර්නින් පොයින්ට් එක මේක තමයි, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට පැතිර යමින් තිබෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම මාධ්‍ය හමුවකට එක්ව සිටියා.