NEWS

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ස්ථාපිත කර තිබු ගොඩනැගිල්ලේ කෝටි 06 තැන්පතුව ලබාගන්න බාධා : බදුකරු ගැන පොලිසියට පැමිණිල්ලක්

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබූ රාජගිරිය DPJ ගොඩනැගිල්ලේ ආරක්ෂණ තැන්පතුව ලෙස ගෙවා ඇති රුපියල් හයකෝටි තිස් ලක්ෂයක මුදල යළි ලබා ගැනීමේ කාර්යයට බාධා එල්ල වී ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම එම ගොඩනැගිල්ලේ ඇති රජයේ දේපොළ ඉවත් කිරීමට ද මෙම බාධාව පැමිණ ඇති බව ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ.

අදාළ ආරක්ෂණ තැන්පතුව ලබාගැනීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් අලාභහානි තක්සේරු කිරීමට දින තුනක් සූදානම් වුවද බදු දීමනාකරු එය ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා රජයේ පාර්ශ්වයෙන් පමණක් තක්සේරු වාර්තාව සකස් කරයි.

බදු ගිවිසුමට අනුව අප්‍රේල් 07 වැනි දින ගොඩනැගිල්ල යළි භාරදීමට නියමිතව තිබුණි. එහෙත් බදු දීමනාකරුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගොඩනැගිල්ල ලබාදීම තව තවත් ප්‍රමාද වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ගොඩනැගිල්ලේ ඇති රාජ්‍ය දේපොළ ඉවත් කිරීමටද බදු දීමනාකරු බාධා කිරීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය වැලිකඩ පොලිසියටද ඒ බව පැමිණිලි කර ඇත. මෙම ගොඩනැගිල්ල 2016 වසරේ සිට වසර පහක කාලයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට බදු වශයෙන් ලබා ගන්නා ලදී. ඒ මාසික කුලී මුදල රුපියල් දෙකෝටි දස ලක්ෂයකටය.