GOSSIP

කිසිවක් නොපෙනෙන මීදුම මැද මළ සිරුරත් සමඟ මහ රැයක් තනිවෙමින් දිනුර වෙනුවෙන් SF සෙබළුන් කල මෙහෙයුම

නුවරඑළියේ හෝර්ටන්තැන්නේ ලෝකාන්තයෙන් පහළට වැටෙන, නැතිනම් පනින අයගේ මළසිරුරු රත්නපුර බළන්ගොඩට අයත් නාන් පෙරියල් වතුයායෙන් සොයා ගැනීම එතරම් අපහසු නැත. එනමුත් බදුල්ලේ මඩොල්සිමේ පුංචි ලෝකාන්තයෙන් පහළට වැටුණු අයෙක්ගේ මළසිරුරක් සොයා ගන්නට නම් ඊට ඉදිරිපත් වන අයගේ ජීවිතය උකසට තැබිය යුතු තරමට ඒ කාර්යය බිහිසුණුය, අපහසුය. සිය දිවි පරදුවට තබා මළසිරුරක් සොයා ගැනීමට පුංචි ලෝකාන්තයෙන් පහළට ගිය යුද හමුදා විශේෂ බළකා සෙබළුන් පිරිසකගේ වීර වික්‍රමාන්විත ක්‍රියාවක් ගිය සතියේ වාර්තා විය. මේ, ඒ ගැන ලියැවුණු ලිපියකි.

දින දෙකක් නරක් වෙමින් තිබීම නිසා ඕජස් ගලන මළසිරුරක් ඔවුන් අතය. ඒ මළසිරුර රැගෙන උඩට එන ගමනේ යටින් ඇත්තේ නිමක් නොපෙනෙන බෑවුමකි. මළසිරුර උඩට රැගෙන ඒම මෙන්ම සිය ජීවිතය රැකගන්නට තිබුණේ ඔවුන් දෙතුන් දෙනා අතේය. ඒ ගමනේදී තබන අඩියක් වැරදුණොත් අඩි සියයක් ප්‍රපාතයට වැටෙන බව නම් සහතිකය. කකුලක වැදී එක ගලක් පෙරළුණොත් ගල්පතුරු රැසක් පහළට රූටා එන්නේය.

දස වසරකට ඉහතදී නම් ඔවුහු මීට වඩා බිහිසුණු ඉලක්කවලට ගමන් කළෝය. ඒ ගමන්වලදී ඔවුන් සිය ජීවිතය ගැන සිතුවේ නැත. සිතුවේ තමන්ට පවරන ලද රාජකාරිය ඉටු කිරීම ගැන පමණි. කලකට පසු එවැනි ඉලක්කයක් ඔවුන්ට ලැබී තිබුණි. ඉලක්කය මීටර් 3500ක් උසැති මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් පහළට වැටුණු අයකුගේ මළසිරුරක් සොයාගැනීමය. පුංචි ලෝකාන්තයෙන් වැටී මියගොස් සිටියේ රූපවාහිනී නාළිකාවක ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දරය.

දිනුර විජේසුන්දර කළුතර, මග්ගොන පදිංචිකරුවෙකි. ඔහු වෛද්‍යවරුන් හයදෙනකු හා තවත් මිතුරන් පස්දෙනකු සමග පුංචි ලෝකාන්තයට එන්නේ එහි රාත්‍රියේ කඳවුරක් ගසා සතුටින් ඉන්නටය. මීගහකිවුල පිටමාරුව ඔස්සේ පුංචි ලෝකාන්තයට මෙම කණ්ඩායම පැමිණ තිබුණේ 06දා පස්වරුවේදීය.

එදින ප්‍රදේශයට තද සුළං සමග මහ වැසි ඇද වැටෙන්නට වූයේ දිනුරගේ කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමිනි. ඒ නිසාම යළි වාහනවලට යාමට සියලු දෙනා පිටත් වන්නේ අලුයම 3.00ට පමණය. කණ්ඩායම පහළට ආවත් දිනුර එහි නොවීය.

මඩොල්සිම පොලිසියට මේ සම්බන්ධව ලද පැමිණිල්ල මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් චන්ද්‍රසිරි යුද හමුදාවේද සහාය පතන්නේ දිනුර පය ලිස්සා ප්‍රපාතයට වැටී මිය යන්නට ඇතැයි විශ්වාස කරගෙනය. මුලින් පොලිසියත්, ගම්මුත් දිනුර සොයා ගැනීමට උත්සාහ කළද ප්‍රතිඵලයක් නොවීය. අන්තිමේදී ඔහුට වූ දේ ගැන සොයා ගන්නට පැවරුණේ විශේෂ බළකායටය.

‘‘අපිට මෙහෙයුම භාරදුන්නට පස්සේ කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ උඩ සිට පහළට යන්න තීරණය කළා. මීදුම නිසා කිසිම දෙයක්​ පේන්නේ නැහැ. පහළට බහින්න අපේ අයට තිබුණු කඹ දිග මදි නිසා ගුවන් හමුදාවෙන් හා නාවික හමුදාවෙන් කඹත් ගෙනාවා. එක්කෙනෙක් පහළට යවන්න කිලෝමීටර් දෙකක් විතර දිග ලණුවක් ඕනෑ වුණා. ඒ අනුව සෙබළුන් හතරේ කණ්ඩායමක් පහළට බැස්සුවා’’ පුංචි ලෝකාන්තයෙන් ඇරඹුණු මෙහෙයුම ගැන එහි සිටි විශේෂ බළකා බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර මහලේකම් කීවේය.

මෙම මෙහෙයුම භාර කෙරුණේ මේජර් ජී.එම්. අමිත අණදුන් හතරවැනි විශේෂ බළකාය වෙතය. නගරබද සටන්වලදී ගුවනින් ගොස් කඹ ආධාරයෙන් ගොඩනැගිලිවලට කඩාවැදී සතුරා පරාජය කිරී‍ම් විශේෂ පුහුණුවක් මෙම බළඇණියට තිබිණි. පුංචි ලෝකාන්තයට කඹවලින් බැසීම ගොඩනැගිල්ලකින් බැසීම තරම් ලේසි නැත. හැරත් කඹය ගැට ගසන්නට තැනක්ද නැත. මේ නිසා සෙබළු කන්ද පහළට ගියේ කඹයේ අග සිය සහෝදර සෙබළුන් අල්ලාගෙන සිටියදීය. පහළට බසින සෙබළාගේ ජීවිතය තිබුණේ ඔවුන් අතේය.

කඹවලින් පුංචි ලෝකාන්තයට බැස්ස සෙබළුන්ට අධික මීදුම නිසා කිසිවක් පෙනුණේ නැත. මේ නිසා කන්ද පාමුල වූ කොටගම හරහාද තවත් සෙබළුන් පිරිසක් යැවීමට තීරණය විය. නමුත් මීදුම හා වැස්ස නිසා කන්ද පාමුලෙන් ගිය පිරිසටත් හෝඩුවාවක් ලැබුණේ නැත. මේ හේතුව නිසා මේජර් ලක්ෂිත මායාදුන්න ඇතුළු විශේෂ බළකා කණ්ඩායම ත්‍රිකුණාමලයේ මංක්‍රිබ්‍රිජ් කඳවුරේ සිට පුංචි ලෝකාන්තයට ආවේ අලුත් මෙහෙයුමකටය.

‘‘අපි මඩොල්සිමට ඇවිත් කන්දේ දකුණු පැත්ත තමයි මුලින්ම තෝරගත්තේ. මඩොල්සිම ගම්වල අයටත් මේක අලුත් අත්දැකීමක් වුණා. කන්දෙන් වැටිලා ගෝනෙක් දෙන්නෙක් මැරිලා හිටියට මනුස්සයෙක් මැරිලා තිබුණේ නැහැ. ගමේ කිහිප දෙනකු අපිට පාර කියලා දෙන්න ඉදිරිපත් වුණා. අපි අටවැනිදා පාන්දර ගමට ඇවිත් පහළින් පරීක්ෂා කරගෙන ආවා. මීදුමයි, වැස්සයි නිසා කන්ද පාමුලට යන්න අමාරුයි. මේ පුද්ගලයා වැටෙයි කියලා අනුමාන කළ ඒරියා එක පරීක්ෂා කළා. අටවැනිදා වැස්ස වහින නිසා අපිට සෝදිසි මෙහෙයුම ඉතා අසීරු වුණා. කන්ද කෙළින් නගින්න බැහැ, බෑවුම වැඩියි. ඒ නිසා පැත්තෙන් පැත්තට උඩට නගින්න වුණේ’’ යැයි මෙහෙයුමට එක්වූ මේජර් ලක්ෂිත මායාදුන්න කියන කතාවය.

වැසි සහිත තත්ත්වය නිසා අටවැනිදා නැවතුණු මෙහෙයුම පසුදින (09දා) උදෑසන ආරම්භ වන්නේය.

එදින උදෑසන විශේෂ බළකා සෙබළුන් සිවුදෙනකුගේ කණ්ඩායමක් පුංචි ලෝකාන්තයේ ඉහළ සිට පහළට කඹ ආධාරයෙන් බැස්සවීමට නිලධාරීහු තීරණය කළා. හතරේ කණ්ඩායමේ කෝප්‍රල්වරු වන චින්තක, දිසානායක, උදයශාන්ත මුලින්ම පහළට බසින්නට ඉදිරිපත් වූහ. සැරයන් නිශාන්ත මීළඟට පහළට බැස්සුවේය. බෑවුම් ගතිය වැඩි නිසා ලණුව ඉහළින් අල්ලා පහළට යැවීමට සිදුවිය. කඹ ආධාරයෙන් පය ගසමින් මීළඟ පිම්ම ගැනීමට අවකාශයක් නොවීය.

පළමු වතාවේ අඩි අනූවක් පමණ පහළට කඹ ආධාරයෙන් ගිය හතරේ කණ්ඩායමට බෑවුම වැඩි නිසා පරීක්ෂා කිරීමද අසීරු විය. එම අභියෝගය කෝප්‍රල් ප්‍රසාද් චින්තක සඳහන් කළේ මෙසේය.

‘‘අපිට පහළට බහිද්දි මීටර් පහක්වත් ප්‍රපාතය පෙනුණේ නැහැ. හෙල්මට් එකේ හයි කරලා තියෙන ටෝච් එකටත් පේන්නේ නැති තරම්. වැස්සයි, මීදුමයි, සුළඟයි වැඩියි. අඩි 90ක් බැස්සට කිසිදු සලකුණක් තිබ්බේ නැහැ. අංශක අනූවකට බෑවුම තිබ්බේ. පහළට බහිද්දි ගලක වේදිකාවක් වගේ එකක් වගේ තැනක් හම්බ වුණා. අපි ඒ වනවිටත් මීටර් 180ක් පහළට බැහැලා හිටියේ. අපි එතැන සම්පූර්ණ සෝදිසියක් කළත් සලකුණක්වත් තිබුණේ නැහැ.’’

මින්පසුව එම මෙහෙයුම නතර කර කන්ද පාමුලින් තවත් කණ්ඩායමක් උඩට යැවීමට අණ දෙන නිලධාරියා උපදෙස් දුන්නේය.

සැරයන් සම්පත් බණ්ඩාර ඇතුළු හතරේ කණ්ඩායමක් කන්ද ඉහළට ගමන් කිරීමට පටන් ගත්තේය.

‘‘අපි කන්ද උඩ ඉඳන් කඳු දෙකක් එහායින් පහළට බහින්න ගත්තා. පහළට එන්න පැය පහක් විතර ගියා. එහෙම බැහැලා කන්ද පාමුලට ඇවිත් කලින් චෙක් නොකරපු පැත්ත පරීක්ෂා කරන්න ගත්තා. අපි උඩට පරීක්ෂා කරගෙන කෝප්‍රල් සිල්වා, කෝප්‍රල් හේරත්, කෝප්‍රල් ජයලාල් එක්ක මගේ ෆෝ මෑන් ටීම් එක උඩට නගින්න ගත්තා. මීටර් 1200ක් විතර උඩට පරීක්ෂා කළත් කිසිවක් හම්බ වුණේ නැහැ. ඊට පස්සේ තවත් අමාරු කපොල්ලක් තිබ්බා. එතැන වතුරත් වැඩියි. ඒ හරියට යන්න තිබුණ මීටර් අසූවක් විතර පය ගහන්නවත් අමාරුයි බෑවුම. අපි උඩට කඹ දාලා කඹ දිගේ පහළින් උඩට නගින්න ගත්තා. ටිකක් දුර යද්දි වතුරත් එක්ක ගඳක් එන්න ගත්තා. ඒ පැත්තේ බොඩි එක තියෙයි කියලා අපිට විශ්වාසයක් ඇතිවුණා.’’

මළසිරුර ආසන්නයේ ඇති බව දැනගත් සැරයන් බණ්ඩාර කඹයේ එල්ලී ගලෙන් ගලට පනිමින් තම කණ්ඩායමත් සමග ඉහළට නැග්ගේය. අතපය කැඩී සිරුරේ කොටස් එළියට පැමිණ තිබූ දිනුරගේ සිරුර ගල්පර දෙකක් අතරේ සිරවී තිබියදී හමුවිය.

එවිට නව වැනිදා සවස 2.40ට පමණ ඇතිය. විශේෂ බළකා සෙබළුන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ මළසිරුර ගැනීමය. ඊට හේතුව සිරුර වැටී තිබූ තැන ඔවුන්ට අඩියක් ගහන්නටවත් බිමක් නැති වීමය. ආධාරක කණ්ඩායම් එනතුරු සෙබළුන්ට එක දිගටම සිටින්නටද බැරිය. සුළං පාර වැඩිය. සුළඟ මදිවාට සීතල මීදුමද මුළු ප්‍රදේශයම වසාගෙන ඇත්තේය. දින දෙක තුනක් කුණු වෙමින් තිබූ මළසිරුරෙන් හමන දුර්ගන්ධය නහය කඩාගෙන එන්නේය. දුර්ගන්ධය ඉවසන්නට බැරිම තැන සෙබළු ආධාරක කණ්ඩායම එනතුරා මීටර් පනහක් විතර පහළට බැස්සහ. සවස 6.00 වනවිට ආධාරක කණ්ඩායම් ඔවුන් සමග එක්විය. එතැන් සිට වූ දේ සෙබළෙක් අපට විස්තර කළේය.

‘‘අපි ගෙනිච්ච බොඩි බෑග් එකකට මළසිරුර දාගෙන ලීවල ගැටගහ ගත්තා. පොඩ්ඩක් හරි අතෑරුණොත් සිරුර ලිස්සලා ගිහින් වැටෙන්නේ බෑවුමේ පහළට. අපේ අයව ලිස්සුවොත් ආයිමත් පණ පිටින් එන්න ලැබෙන්නේ නැහැ. පළවැනි මීටර් පනහ බහින්න පැය දෙකහමාරක් ගියා. බොඩි එකත් නරක් වෙලා නිසා කිලෝ එකසිය පනහක් විතර බරයි. ඕජස් ගලමින් ගඳ ගගහා තිබ්බත් අපිට මේක පරිස්සමින් ගේන එක තමයි අරමුණ වුණේ. පහළට තිබුණු බෑවුම නිසයි ගන්න අමාරු වුණේ. මීදුම නිසා පහළට බහින්න පේන්නේ නැහැ. කළුවර නිසා ප්‍රපාතයට තියන තියන අඩියත් අවදානම්.’’

රාත්‍රි 10.30ට පමණ භූමියේ අවදානම ගැන විශේෂ බළකා බළසේනාධිපති බ්‍රිගේඩියර් මහලේකම්ට දැන්වූ පසුව රාත්‍රියේ එහි නතර වී එළිය වැටෙද්දීම පහළට එන්නැයි උපදෙස් ලැබුණි. මහ රෑ පණගැහෙන සීතලේ මළසිරුරක් සමග මහ වන මැද සිටීම අපට නම් පණ යන වැඩකි. එහෙත් සිය සගයන්ගේ මළසිරුරු දැක දැක හිත ශක්තිමත් කරගෙන එය රැගෙන යාම හමුදා සෙබළුන්ට හුරුය. එහෙත් යුද බිමේ මෙන් නොව පුංචි ලෝකාන්තයේ ඔවුන්ට ඉන්න තැනක් නැත. බෑවුමේ මුළු රාත්‍රියම ගතකළේ හිටගෙනය.

පැය තිහක පමණ අසීරු මෙහෙයුමක් නිමා කරමින් විශේෂ බළකා භට කණ්ඩායම ඇතුළු හමුදා භට කණ්ඩායම් පුංචි ලෝකාන්තයේ සැඟව ගිය දිනුරගේ සිරුර කොටගම ග්‍රාමය වෙත රැගෙන ආහ. ඒ බදාදා (10දා) දහවල් 1.00ට පමණය.

විශේෂ බළකා සෙබළුන්ගේ මේ මෙහෙයුම නොවන්නට නම් අවසන් කටයුතු කරන්නට දිනුරගේ සිරුර ඥාතීන්ට කවදාවත් නොලැබෙනු ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Leave a Reply

Your email address will not be published.