NEWS

අපි කැමති නැගෙනහිරට මිස බටහිරට නෙවෙයි.ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ගැනීමට ඉන්දීය රජයේ උනන්දුවක් නැති බව එම රජය නිල වශයෙන් මෙරටට දැනුම් දී ඇත.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ හමුවී කළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවකදී මේ බව දන්වා තිබේ.

ඉකුත් 02 වැනිදා රාත්‍රියේ පැවැති මෙම සාකච්ඡාවලදී ඉන්දීය රජයේ ස්ථාවරය සම්බන්ධව සාකච්ඡා කර ඇත.

ඉන්දීය රජය සමග ගිවිසුම් අත්සන් කර තිබියදී විරෝධතා මුල්කරගෙන නැගෙනහිර පර්යන්තය ලබා නොදුන් අයුරින් උද්ඝෝෂණ ඇති වුවහොත් බටහිර පර්යන්තය ලබාදීමද නතර විය හැකි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම ඉන්දීය රජය බටහිර පර්යන්තය ගැන උනන්දුවක් නැතැයි පවසා ඇත.මේ අතර ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කේ. ජේකබ් පෙරේදා (03 වැනිදා) මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සමග ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. කරුණා අම්මාන් හා පිල්ලෙයාන් පාර්ශ්වයද මෙදිනම කැඳවා සකච්ඡා කර තිබේ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මගින් දෙමළ ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවාලීම ඉන්දීය රජයේ ස්ථාවරය බව මෙහිදී පෙන්වා දී තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
නයන තරංග ගමගේ

Leave a Reply

Your email address will not be published.