NEWSWORLD

ලංකාවට ගේන්න හිටපු කොවිඩ් එන්නත හදන ඉන්දීය සමාගම ගිනිගනී

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා සහ ලොව වැඩිම කොවිඩ් එන්නත් නිපදවන ආයතනය වන ඉන්දියාවේ සේරම්හි (Serum) ගොඩනැගිල්ලක ඊයේ (21 වැනිදා) ඇති වූ ගින්නකින් සේවකයන් 05 දෙනකු මරණයට පත්ව ඇත.

ගොඩනැගිල්ලේ සිරවී සිටි තවත් කිහිප දෙනකු ගිනි නිවන භටයන් විසින් බේරාගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇති කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත් දෙකින් එකක් වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා සමග සහයෝගීත්වයෙන් කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ සේරම් ආයතනය විසිනි.

මෙම එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇත්තේ ද මෙම ආයතනයෙනි.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින්ට පැය තුනක් පමණ ගත වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ගිනි නිවීම් අංශ පවසා තිබේ.

මේ අතර ඊයේ පස්වරුවේ සේරම් ආයතනයේ ප්‍රධානී අදාර් පූනාවල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ ගොඩනැගිල්ලේ මහල් කීපයක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති නමුත් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට කිසිදු බාධාවක් සිදුව නැති බවයි. මෙම කම්හලද සහිත ඉන්දියාවේ (Serum) ආයතනය පූනේහි අක්කර 100ක් පුරා පැතිරී ඇත .

නයන තරංග ගමගේ

Leave a Reply

Your email address will not be published.