NEWS

පොලිතීන් සහ ප්ලාස්ටික් වෙනුවට නැනෝ තාක්ෂණය යොදා ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කිරීමෙන් පසු ඊට විකල්පයක් ලෙස පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා නැනෝ තාක්ෂණය යොදා ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධව පරිසර ඇමැති මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) අතර සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්වුණි.

ඛනිජ වර්ග බොහොමයක් අපනයනය කරනු ලබන්නේ අමුද්‍රව්‍ය වශයෙන් බවත්, එහෙත් ඒවා අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් හෝ නිමි භාණ්ඩ වශයෙන් අපනයනය කරනු ලබන්නේ නම් දැනට වඩා විශාල ආදායමක් උපයාගත හැකි බවද මෙහිදී ඇමැතිවරයා පැවසුවේය.

අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කරන ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කළ භාණ්ඩ වශයෙන් හෝ නිමි භාණ්ඩ වශයෙන් අපනයනයෙන් ලබන ආදායමට වඩා වැඩි මිලකට මිලදී ගැනීමට සිදුවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.

මෙරටින් අපනයනය කරනු ලබන ඛනිජ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව හා ඒවායේ වටිනාකම් පිළිබඳව නිසි අගයක් නැනෝ තාක්ෂණය යොදා ගනිමින් සකස් කර දෙන ලෙසද ඇමැතිවරයා නැනෝ තාක්ෂණ ආයතනයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මිනිරන් කිලෝවක් අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කරන විට ඇමරිකන් ඩොලර් 10ක ආදායමක් ඉපැයූවද, නිමි භාණ්ඩයක් වශයෙන් ග්‍රැපයිට් ඔක්සයිඩ් හෝ ග්‍රැපේන් බවට පත් කර අපනයනය කරන විට කිලෝවක් ඊට වඩා සිය ගුණයකින් පමණ ඉහළ මිලකට අලෙවි කළ හැකි යැයි නැනෝ තාක්ෂණ ආයතනයේ නිලධාරීහු පරිසර ඇමැතිවරයා සමග පැවසූහ.

Leave a Reply

Your email address will not be published.