NEWS

ළමා අපරාධ විභාග කිරීමට නව මහාධිකරණ 09 ක්

ළමා අපරාධ නඩු විභාග කිරිම සඳහා නව මහාධිකරණ 09 පිහිටුවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේ පළාත් 09 කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම නව ළමා මහෙස්ත්‍රාත් අධිකරණ 07 ක් පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බවත්, වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මැදිරි 09 ක්ද අලුතින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීවේය.

ළමා අපයෝජන පිළිබඳ නඩු කටයුතු නියාමනයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රමවේදයක් සකසා ඇති බවත්, ඊට අදාළව එම අධිකාරිය ජාතික දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ළමයින් උසාවි වෙත ප්‍රවාහනය කිරීමට සකසා ඇති වැඩපිළිවෙල කුමක්ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රශ්න කළ අතර ලබන මාර්තු මස අවසන් වීමට පෙර ළමා හිතකාමි පොලිස් විමර්ශන මාර්ගෝපදේශ පද්ධතියක් සකසා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

වීඩීයෝ සාක්ෂි පටිගත කිරීම මඟින් ද්විතික වින්දිතභාවයෙන් ළමයා ආරක්ෂා කරගත හැකිබවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටතුළ දැනට පවතින ළමා ආරක්ෂක නීතියේ අඩුපාඩු රැසක් පවතින බවත්, එම විෂමතා හඳුනා ගෙන නව පනතක් ගෙනඒමට ඉදිරියේදී කටයුතු කරන බවද ජී.එල්.පීරිස් මහතා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *