NEWS

කොවිඩ් එන්නත මාර්තුවල ලංකාවට..මුලින්ම දෙන්නේ අවදානම් කණ්ඩායම්වලට

කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා සය පුද්ගල ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර ලබන වසරේ (2021) මාර්තුවේදී අවදානම් කණ්ඩායම්වලට එන්නත කඩිනමින් ලබා දෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඊයේ (29 වැනිදා) පැවසීය.

කොවිඩ් එන්නත කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීමේ වගකීම පැවැරී ඇත්තේ ලලිත් වීරතුංගටය.

එන්නත් ලබාගැනීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රාසියා පෙන්සෙ සමග පෙරේදා (28 වැනිදා) විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූ බව ඔහු අනාවරණය කළේය. එංගලන්තයේ නිෂ්පාදනය කරන එන්නතක් ඉන්දියාවේ දී මිලියන 300ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සූදානම්ව තිබේ.

එම එන්නත් ජනගහනයෙන් සියයට විස්සකට (20%) ලබා දීම සඳහා මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පොරොන්දු වී තිබේ. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය. ආසියානු රටවලින් එන්නත් කඩිනමින් ලබා දීමට රටවල් දෙකක් යෝජනා වී ඇති අතර ඉන් එක් රටක් වන්නේ ශ්‍රී ලංකාවය. එන්නත් ලබා දීම සඳහා මෙම එන්නත් කරණය පිළිබඳ ඉතිහාසය, එන්නත් කළ යුතු පිරිස හඳුනා ගැනීම, බෙදා හැරීම, එන්නත් කිරීමේ හැකියාව යනාදිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යයනයක නිරත වෙයි. එම අධ්‍යයනයට අනුව එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ. මෙලෙස ලබා ගැනීමට යෝජිත එන්නතක මිල ඇමරිකානු ඩොලර් හතරක් පමණ වෙයි.

සාමාන්‍ය ශීතකරණවලද තැබිය හැකි මෙම එන්නතක වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජනතාව, සෞඛ්‍ය, ආරක්ෂක අංශ සාමාජිකයන්. වැඩිහිටියන් සඳහා පළමුව එන්නත ලබාදීමටද රජය තීරණය කර තිබේ. කොවිඩ් එන්නත ලබා ගැනීමට රටවල් 192ක් සූදානමින් සිටියි.

උදයජීව ඒකනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *