NEWS

චීන බලපෑමෙන් ශ්‍රී ලංකාව මුදා ගන්න ඇමරිකාවෙන් ආධාර – වෙනම පනතකුත් සම්මත කරගනී

මහජන චීන සමූහාණ්ඩුවේ බලපෑමට එරෙහිව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව මූල්‍යාධාර සපයන බව එරට පවසා සිටී. පෙරේදා (27 වැනිදා) එරට කොංග්‍රස් මණ්ඩලය සම්මත කළ විශේෂ කොරෝනා අරමුදල් පනතේ මේ බව සඳහන් වේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයේදී සම්මත කෙරුණු අවසන් සුවිශේෂී පනත ලෙස සැලකෙන මෙම පනත ඔස්සේ ශ්‍රී ලංකාව ඇතුළු වසංගතයෙන් පීඩා විඳින රටවල් ගණනාවකට මූල්‍යාධාර පිරිනැමීමට ප්‍රතිපාදන ඇතුළත් වේ. ඒ වෙනුවෙන් එක්සත් ජනපද කොංග්‍රසය වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකි.

එම පනතේ ශ්‍රී ලංකාවට අදාළ පරිච්ඡේදය සඳහන් වන පරිදි චීනයේ බලපෑමෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සහ අන්තර් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ද ඉදිරියේදී එක්සත් ජනපදය මූල්‍යාධාර සැපයීමට නියමිතය. මෙම පනත ඔස්සේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට සැපයෙන මූල්‍යාධාර ප්‍රමාණය නිශ්චිතව දක්වා නැති නමුත් වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 15ක් (රුපියල් කෝටි 285ක්), මානුෂීය ආධාර වෙනුවෙන් ඩොලර් මිලියන භාගයක් (රුපියල් කෝටි 9.5ක්) ඇතුළු විෂය මාලා සංවර්ධනයට, සමුද්‍රීය ආරක්ෂාවට මෙන්ම වෙරළාරක්ෂක භටයන් වෘත්තීයකරණයටද මූල්‍යාධාර ලබාදෙන බව සඳහන් වේ.

නයන තරංග ගමගේ

Leave a Reply

Your email address will not be published.