NEWS

අල්ලස් ගත් පතල් කාර්‍යංශයේ දූෂිත නිලධාරීන්වත් මාරු කරයි

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මුදල් හා ලිංගික අල්ලස් ලබා ගන්නා දූෂිත නිලධාරීන් වහාම මාරු කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.

මෙම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් ඛනිජ බලපත්‍ර නිකුත් කිරීමේ දී රුපියල් පනස් දහසේ සිට ලක්ෂය දක්වා අල්ලස් මුදල්ද, ලිංගික අල්ලස් ද ලබා ගන්නා බවට කාර්යාංශයේ සභාපතිවරයාට ලිඛිත හා වාචිකව පැමිණිලිද ලැබී ඇත.

ඛනිජ කැණීම් සඳහා කෙටි කාලීන බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇතැම් ප්‍රාදේශීය නිලධාරීන් අල්ලස් මුදල් ලබා ගන්නා බව එම පැමිණිලිවලින් දැක්වේ.

මෙම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් පසුගිය කාලයේ දී අසීමිත ලෙස කැණීම් බලපත්‍ර පවා නිකුත් කර ඇතැයි ද එම ආයතනයේ ආරංචිමාර්ග කියයි. කැණීම් සිදු නොකරන භූමිවලට පවා බලපත්‍ර නිකුත් කර ඇත.

කාර්යාංශයේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල කමිටුවේ මූලික වාර්තාව ලැබී ඇති බවත් එහි අවසන් වාර්තාව තමා අතට ලැබීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසුවේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හොර ගුහාවක් බවට එහි සභාපති අනුර වල්පොල පසුගියදා දිනපතා ‘අරුණ’ පුවත්පතට අනාවරණය කරන ලදී. එම අනාවරණයෙන් පසු අදාළ වංචාව පිළිබඳව සොයා බැලීම සඳහා සිව් පුද්ගල කමිටුව ද පත් කළේය.

මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව දේශපාලන බලෑම් මත එක් නිලධාරියකු එහි ඉහළ නිලයක් දරන බවත්, ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක්ද ගොනු කර තිබෙන බවත් අනාවරණය වේ.

මීට වසර තුනකට පමණ ඉහතදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සිදු වී තිබෙන රුපියල් නම කෝටි හතළිස් පන් ලක්ෂයක මූල්‍ය වංචාවටද මෙම ඉහළ නිලධාරියා සම්බන්ධ වී ඇති බවටද තොරතුරු ඇතැයි පැවසේ. අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව සකස් කරන ලද පිටු 3000ක වාර්තාව පසුගිය කාලයේ දී අස්ථානගතව පැවැතියේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව සභාපති අනුර වල්පොළ මේ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක්ද පත් කරන ලදී. එම ස්වාධීන කමිටුව අදාළ වාර්තාව සොයාගනු ලැබූ අතර එම මූල්‍ය වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක්ද සිදු කෙරෙමින් පවතී.

කාර්යාංශයට කැණීම් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයට තවමත් නිසි සේවාවක් සපයන්නේ නොමැති බව අනාවරණය වේ. ජනතාව ප්‍රමාද කරමින් ඇතැමුන් අල්ලස් මුදල් ලබාගැනීමට උත්සාහ ගන්නා බවද දැනගැනීමට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *