NEWS

“අපිට ලොකුම අසාධාරණය වුනේ යහපාලනයෙන්.දැන් බොරුවට ලකුණු දාගන්න එන්න එපා” – ගුරු උද්ඝෝෂණයට පැමිණි සජිත්ගේ මන්ත්‍රීට විරෝධය

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් පාර්ලිමේන්තු වටරවුම අසල ඊයේ (01 වැනිදා) පැවැත්වූ නිහඬ විරෝධතාව අසලට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාට දැඩි විරෝධයක් එල්ල විය.

මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන්ට වඳිමින් ‘‘ඔබ වහන්සේලාගේ ගැටලුවලට අපි විසඳුම් දෙනවා’’ යැයි පවසන විටම උන්වහන්සේ ‘‘ගුරු-විදුහල්පතිවරුන්ට බරපතළම අසාධාරණය සිදු වූයේ යහපාලන ආණ්ඩුව සමයේ පලයව් යන්න දැන් එනවා ලකුණු දාගන්න’’ යැයි උස් හඬින් කියා සිටියහ. සෙසු පිරිසද විරෝධය පළ කිරීම නිසා මන්ත්‍රීවරයා වහාම එම ස්ථානයෙන් ඉවත්ව යනු දැකිය හැකි විය.

ඉන්පසු යළිත් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ විරෝධතාව ආරම්භ කළ අතර මද වේලාවකට පසු තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග එම ස්ථානයට පැමිණියේය. යල්වෙල පඤ්ඤාසේකර හිමියන් ද එම අවස්ථාවේ එහි නොසිටි අතර එවර ඔවුන්ට විරෝධයක්ද එල්ල නොවිණි.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ලංකා විදුහල්පති සංගමය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් කිහිපයක නියෝජිතයෝ මෙම විරෝධතාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *