NEWS

වසරකදී ශ්‍රී ලංකාවේ දැරියන් 50 ක් පමණ ළමා මව්වරුන් වන බව හෙළිවේ

දළ වශයෙන් වසරකට මෙරට දැරියන් පනස් දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පවසයි.

ලංකාවේ වසරකට ළමා අපයෝජන දස දහසක් පමණ ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මේ අතුරින් මොනරාගල, පොළොන්නරුව අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධීන් විශාල වශයෙන් වාර්තාවන බව ද ඔහු පෙන්වා දෙයි.

ළමා අපයෝජන හා හිංසන නිසාවෙන් වසරකට මොනරාගල දිස්ත්‍රික්කයේ ළමුන් පන්සියයක් පමණ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පවසයි. එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ වසරකට ළමුන් දස දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ඒ මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මෙසේද කිවේය.

ගැබ්ගන්නා ළමා මව්වරුන් සඳහා අවශ්‍ය රැකවරණය ලබාදීමට රැඳවුම් මධ්‍යස්ථානයක් කිසිදු රෝහලක දක්නට නැහැ. ළමා අපයෝජන හා කාන්තා හිංසනයට ලක්වූවන්ට නීතියේ පිළිසරණ ලබාදී අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට යොමුකරන අතරතුර ඔවුන් පුනරුත්ථාපනය කොට යළි සමාජගත කිරීමේ පසුබිම සකස් කළ යුතුයි. මෙසේ අපයෝජනයට හා ළමා මව්වරුන් බවට පත්වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල් පහසුකම් ප්‍රමාණවත් අයුරින් තියෙනවා. එහෙත් ගැබ්ගන්නා ළමා මව්වරුන් වෙනුවෙන් ළමා ගර්භණී නිවාසයන් නොමැතිවීම නිසා දිගුකාලීන ප්‍රතිකාර හා රැකවරණය ලබාදීම මානසික තත්ත්වය යථාතත්වයට පත්වන තුරු ආරක්ෂා කිරීම ගර්භණී දැරියන්ට නේවාසික පහසුකම් සැලසීම යන කරුණුවලදී නිසි ක්‍රමවේදයක් සකස් කිරීම තවමත් නොහැක වී තියෙනවා යැයිද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

(අරුණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *