NEWSWORLD

ජපානයේ කොවිඩ් මරණවලට වඩා සියදිවි නසා ගැනීම් ගණන වැඩිවෙයි

කොවිඩ් වසංගතය මිනිසුන්ගේ කායික සෞඛ්‍යයට කර ඇති බලපෑම නිතර අවධානයට ලක් වන්නක් වුවත් එය මානසික සෞඛ්‍යයට ඇති කර තිබෙන බලපෑම ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු නොවන බව බොහෝ විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම කාරණයට අදාළව කාගේත් අවධානයට ලක්විය යුතු පුවතක් පසුගිය දිනවල ජපානයෙන් වාර්තා වී තිබිණි. මෙයින් කියැවෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයෙහි ජපානය තුළ සිය දිවි නසාගෙන මිය ගිය සංඛ්‍යාව මෙම වසර පුරාම කොවිඩ් රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි බවයි. එරට ජාතික ප්‍රතිපත්ති ඒජන්සිය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවකට අනුව ඔක්තෝබර් මාසය තුළ සිය දිවි නසාගෙන මිය ගිය ගණන 2,153කි. නමුත් මෙම වසර තුළ කොවිඩ් රෝගය වැලඳී මිය ගිය ගණන 2,087ක් පමණි.

දිවි නසාගැනීම් මේ ආකාරයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව මුහුණ දෙමින් සිටින මානසික ගැටලු බව රහසක් නොවේ. විෂාදය (Depression) කාන්සාව (Anxiety) වැනි මානසික ගැටලුවල විශාල ඉහළ යාමක් මේ වනවිට ලෝකය පුරාම දක්නට ඇති බව මානසික සෞඛ්‍යය පිළිබඳ විශේඥයන් නිතර පෙන්වා දෙමින් සිටින්නකි. කොරෝනා වයිරසය පිළිබඳ බිය සහ ඒ නිසා ඇති වන අවිනිශ්චිතතාව, බලාපොරොත්තු බිඳ වැටීම, ආදායම් මාර්ග අහිමි වීම නිසා ආර්ථික වශයෙන් ඇති වන අනාරක්‍ෂිත බව, සිය සමීපතමයන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇති වන බිය, වැඩි කාලයක් නිවෙස්වලට කොටු වී ගත කරන්නට වීම නිසා විනෝදාස්වාදය ලැබීමට ඇති අවස්ථා ඇහිරීම සහ හිතමිතුරන් ඇසුරු කිරීමට නොහැකි වීම, මේ ආදී බොහෝ කාරණා ඉහත කී මානසික ගැටලුවලට හේතු වී තිබේ.

ජපානය වැනි රටවල පවතින සංස්කෘතික සීමාවන්ද තවත් ප්‍රධාන සාධකයකි. මානසික රෝගවලට ගොදුරු වන්නන්ට තම ගැටලු ගැන විවෘතව කතා කිරීමට ඇති ඉඩකඩ මෙම සීමාවන් නිසා බෙහෙවින් ඇහිරී තිබේ. එසේ කතා කිරීම සැලකෙන්නේ ආත්ම ගෞරවයට හානි කරන, ලැජ්ජා සහගත කටයුත්තක් ලෙසිනි. මේ නිසා මෙවැනි ආබාධවලට ගොදුරුවන අයට තනිවම තම වේදනාවන් විඳ දරා ගැනීමට සිදුව තිබේ. මෙවැනි තත්ත්වයන් තුළ ඔවුන් බොහෝ දෙනෙකු විසඳුම් සොයන්නේ ජීවිතය නැති කර ගැනීම වැනි ක්‍රියාවන් හරහාය.

කොවිඩ් වසංගතය නිසා ජපානය තුළ මානසික ගැටලුවලට වැඩි වශයෙන්ම ගොදුරු වෙමින් සිටින්නේ කාන්තාවන් වීමද විශේෂත්වයකි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්‍ෂව මේ වසරේ ඔක්තෝබරයේ කාන්තාවන්ගේ සිය දිවි නසාගැනීම් සියයට 83 කින් වැඩි වී තිබේ. පිරිමින් සිය දිවි නසාගැනීම් වැඩි වී ඇත්තේ සියයට 22 කින් පමණි.

සහන් වික්‍රමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *