ත්‍රිරෝද රථ ගැන තීරණයක් ගන්න යයි

ත්‍රිරෝද රථ ආරක්ෂිත වාහනයක් ලෙස වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක අවධාරණය කරනවා.
ජනතාවගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක් වන ත්‍රීරෝද රථ ඇතුළුව අනෙකුත් වාහන ආනයනයේදී ඒවායේ ප්‍රමිතිය සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවයි ඔහු පවසන්නේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුව (SLMA) විසින් සංවිධානය කරන ලද “Safe Roads-Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023, ඊයේ (01) දින පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 8ක් හෝ 9ක් පමණ සංඛ්‍යාවක් මිය යන අතර, සෑම පැයකටම පුද්ගලයින් 2-3ක් පමණ තුවාල ලබන බවයි හෙළිව ඇත්තේ. එමෙන්ම සෑම විනාඩි 10කට වරක් අනතුරක් වාර්තා වනවා. වාර්ෂිකව පුද්ගල මරණ 3000 ක් පමණ සහ බරපතල තුවාල ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8000 සිට 9000 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.
එමඟින් වාර්ෂික ආර්ථික පාඩුව රුපියල් බිලියන 200 සිට රුපියල් බිලියන 300 දක්වා පරාසයක පවතිනවා. එබැවින් ජනාධිපති කාර්ය සාධක බලකායක් හෝ ඉහළ පෙළේ කමිටුවක් පිහිටුවීම මගින් මෙම අනතුරු හැකිතාක් අවම කර පාලනය කරගැනීමට මෙන්ම පවතින මාර්ග ආරක්ෂණ වැඩසටහන්වල ඇති අඩුපාඩු සහ දෝෂ හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවයි සාගල රත්නායක මෙහිදී අවධාරණය කළේ.