අනියම් සැමියා සමඟ එක්ව සැමියා මරා දමලා – මාවනැල්ලේ ශෝකාන්තය

මෝටර් රථයකින් හප්පා තම සැමියා ඝාතනය කළ ඔහුගේ බිරිඳ, අනියම් සැමියා ඇතුළු තිදෙනෙකු මාවනැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි 22 දින මාවනැල්ල ගල්අතර ප්‍රදේශයේ තුවාල ලබා පාරේ වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය අතර ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වූයෙන් අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් ලැබුණේ විවෘත තීන්දුවක්.

නමුත් පසුව එම පුද්ගලයාගේ බිරිඳගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳව තොරතුරු අනාවරණ වීමත් සමඟ පොලීසිය විසින් සීසීටීවී දර්ශන සහ තාක්ෂණික උපක්‍රම යොදාගෙන කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූ තොරතුරු අනුව බිරිඳගෙන් සහ ඇය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන කළමනාකාරවරයෙකු ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම් වලදීයි මෙම අපරාධයේ සුලමුල හෙළි වී ඇත්තේ.

43 වැනි වියේ පසු වූ මිය ගිය පුද්ගලයා කැබ් රථ රියදුරෙකු ලෙස විදෙස්ගතව සේවය කර සිට පැමිණි අයෙක් බව සඳහන්.

බිරිඳ විසින් අනියම් සබඳතාව පවත්වන පුද්ගලයා හමු වීමට ගොස් ඇති අවස්ථාවක මිය ගිය පුද්ගලයාද ඔවුන් හඹා ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔවුන් මෝටර් රථයෙන් පලා යාමට සැරසෙද්දී මරණකරු විසින් පාරට පැන වාහනය නවත්වන්නට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදීයි රථයේ රියදුරු, බිරිඳ සහ අනියම් සැමියා විසින් ඔහුව හප්පා පලා ගොස් ඇත්තේ.

ඒ අනුව පසුගිය 29 වනදා සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඊයේ (30) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔවුන් නොවැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button