බාලගිරි දෝෂය අද – සිංහයින්ට වින කරයිද?

ඉන්දියාවට එරෙහිව පසුගිය තරඟය පරාජයට පත්වීම හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (14 දා) පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතු වනවා. පස්වරු 3 ට ආරම්භ වන මෙම තරගය අවසන් පූර්ව තරගයක් ලෙසයි විචාරකයෝ සඳහන් කර සිටින්නේ.
සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය යටතේ ඉන්දීය කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 2 න් 2 ම ජය ගැනීමෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිව තිබෙනවා. එම තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන තිබුණද ලකුණු ලබා ගැනිමේ ශූද්ධ දල වේගය පාකිස්තානයට වඩා ඉහළ මට්ටමක පැවැතීම නිසා ශ්‍රී ලංකාවට එහි දෙවැනි ස්ථානයයි හිමිව තිබෙන්නේ.
මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්ත්වය අද තරගයට බාධා පැමිණවීමෙන් පැවැත්වීමට නොහැකි වුවහොත් ඉදිරියට යන කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය මත තීරණය වනු ඇති. එසේ වුවහොත් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ ඉන්දියාවේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවට එරෙහි තරගය ඉතිරිව තිබුණත් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ මේ දක්වා එකම තරගයක් හෝ ජය ගැනීමට නොහැකිවීම හේතුවෙන් 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගයේ ජය වාර්තා කළද ඔවුන්ට අවසන් මහ තරග වරමට පැමිණීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායම් මූලික තරග වටය යටතේ ප්‍රතිවිරුද්ධ කාණ්ඩ දෙක යටතේ තරග වැදීම නිසා ඔවුන් මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ හෙට මුණ ගැසෙන්නේ පළමු වතාවට වීම විශේෂත්වයක්. දෙරට අතර එක්දින තරග ඉතිහාසය තරග 155 කට ලඝු වුවත් ඔවුහු එක්දින තරගයකදී මුණ ගැසෙන්නේ වසර 4 කට ආසන්න කාලයකින් පසුවයි. ඔවුන් අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේදී වන අතර තරග 3 කින් සමන්විත කණ්ඩායම 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව සිටිනවා.
ඉන්දියාව හමුවේ ලද ලකුණු 41 ක පරාජය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ තරග ජයග්‍රහණ වැළ තරග 13 කින් නිමාවට පත්වුණේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින්. කෙසේ වෙතත් අඛණ්ඩව ප්‍රතිවාදීන්ගේ කඩුලු සියල්ලම අවස්ථා 14 කදී දවා ලමින් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබෙන ලෝක වාර්තාව හෙට තරගයේදී තවදුරටත් ඉහළට රැගෙන යෑමේ අවස්ථාව ඉතිරි තිබෙනවා. හෙට තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට සමත් වුවහොත් පිට පිටම තරග 15 කදී එම දක්ෂතාව දැක්වා ඇති කණ්ඩායම ලෙසින් ලෝක වාර්තාව අලුත් වනු ඇති.
උපුටා ගැනීම – Sri Lanka Cricket