“මම ගණ දෙවියන්ගේ බැතිමතෙක්” කදිර දිව්‍යරාජ හරහා සිනමාවට ආ හෂාන් කියන කතාව

මේ දින වල සිනමාශාලා රැසක තිරගත වන “කදිර දිව්‍යරාජ” සිනමා සිත්තමේ ගණ දෙවිඳුන්ගේ චරිතය නිරූපණය කරන කඩවසම් කලාකරුවෙක් වන හෂාන් රත්නායක තමයි අද සොඳුරු කතාබහ සමඟ එකතු වෙන්නේ.

1). ආයුබෝවන් හෂාන් , ඉතින් කොහොමද මේ දවස් වල ජීවිතය ?

ආයුබෝවන්! මේ දවස්වල ජීවිතය වෙනදා වගේම ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් එක්ක හරිම සතුටින් සිටින කාලයක්.

2).කලා ක්ෂේත්‍රයේ ආරම්භක අවධිය ගැන මතක් කලොත් ? ඔබ රංගනයෙන් දායක වුණ පළමු ටෙලිනාට්‍ය “ධරණි” සඳහා කොහොමද ලැබුණු ප්‍රේක්ෂක ආදරය ?

ඔව්! මම කලා ක්ෂේත්‍රයට සමබන්ධ වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා. මට ඒ සඳහා මුල්ම අඩිතාලම ලැබුණේ මම උපාධිය හැදෑරූ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් සංවිධානය කළ Stylish Marketer 2015 කියන නිරූපණ තරඟාවලියට සහභාගි වීමත් සමඟයි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ Business Management faculty එකේ මානව සම්පත් අධ්‍යයන අංශයේ තමයි ඉගෙනුම ලැබුවේ. ඉතින් අනිවාර්යයෙන්ම මගේ යහලුවන් සහ සියලුම දේශකවරුන් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.
මේ විදියට නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණ මම 2018 හිරු අවුරුදු කුමරා සහ 2019 සිරස අවුරුදු කුමරා තරඟාවලි වලට සම්බන්ධ වෙම්න් ජයග්‍රහණ හිමි කර ගැනීමත් සමඟ Mr. Sri lanka for Mr. United Asia 2018 තරඟාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙනවා තායිලන්තයට.
මේ අවස්ථාව මට ලැබෙන්නේ චන්දිමාල් ජයසිංහ මහතා සහ චතුර ඩිලාන් මහතා හරහා.
ඒ වගේම ඉන්දියාවේ පැවැති face of Sri Lanka for Face of south Asia Model festival එකට 2019 දී ලංකාවෙන් ඉදිරිපත් වීමටත් අවස්ථාවක් ලැබුණා.මේ ජාත්‍යන්තර අත්දැකීම් සමඟ නිරූපණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ‍රාශීයක් එකතු කර ගන්න මට පුලුවන් වුණා .
රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණත් අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතුවේ නැහැ . ඉතින් TV දෙරණ නාලීකාවේ විකාශය වූ “ධරණි” ටෙලිනාට්‍ය තමයි මගේ පළමු වන ටෙලිනාට්‍ය. එහි දේවින්දගේ චරිතය හරහා තමයි මුලින්ම මම ප්‍රේක්ෂකයා අතරට ගියේ. ඒ හරහා ලැබුණ ප්‍රේක්ෂක ආදරය තවමත් මට නොඅඩුව ලැබෙනවා . ඉතින් මම හරි වාසනාවන්තයි සහ අදටත් ඒ චරිතය ප්‍රේක්ෂක හදවතේ ජීවමානයි.
මගේ දෙවන ටෙලිනාට්‍ය තමයි ස්වර්ණවාහිනී නාලීකාවේ විකාශය වු “ගුග්ලි” ටෙලිනාට්‍ය. එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මේනක රාජපක්ෂ විසින්. ඒ සඳහා මා යෝජනා වෙන්නේ ජිල්බු මල්ලී හරහා. ඉතින් එහිදී රදීෂ්ගේ චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය ලබා ගන්න මට හැකියාව ලැබුණා . විශේෂයෙන්ම එහෙදී පිටපත් රචක සමීර පියරත්න අයියා සහ නිෂ්පාදක ජනක සම්පත් අයියා ආදරයෙන් මතක් කළ යුතුයි. මේ සියලුම දේ සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනාට බොහොම ස්තූතියි!

3).හෂාන්ගේ ආදරණීය පවුල ගැනත් ටිකක් මතක් කරමු නේද ? එයාලගෙන් ලැබෙන සහයෝගය මොන වගේද ?

ඇත්තටම මට ලොකු ශක්තියක් වගේම සහයෝගයක් ලැබෙනවා මගේ පවුලේ සියලුම දෙනාගෙන්. ඔවුන් ගොඩාක් කැමතියි මම කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනවාට. විශේෂයෙන්ම මගේ අම්මා වගේම අම්මාගේ සහෝදරියන් තමයි මගේ පස්සෙන් අදටත් සෙවණැල්ලක් වෙලා සහයෝගය ලබා දෙන්නේ.

4). ඔබේ කලා ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය මොකක්ද ?

කලා ක්ෂේත්‍රයේ මගේ හැරවුම් ලක්ෂය ටී.වී දෙරණ නාලිකාවේ විකාශය වූ “ධරණි” ටෙලිනාට්‍ය කිව්වොත් මම නිවැරදියි. මෙහිදී මාව දේවින්දගේ චරිතයට තෝරා පත් කර ගත්තේ පිටපත් රචක නිදුක් මධුශික අයියා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂක ශ්‍රියන්ත රත්නායක අයියාත් ආදරයෙන් මතක් කරන්න ඕන. මේ දෙදෙනා නිසා තමයි ධරණි ටෙලිනාට්‍යයේ දේවින්දගේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ධරණි ටෙලිනාට්‍ය හරහා මට ගොඩාක් අවස්ථාවන් ක්ෂේත්‍රය තුළ ලැබුණා .

5).ඔබ කලා ක්ෂේත්‍රය තුළ ඔබවම තෘප්තිමත් කරමින් ගමනක් ආපු හරි නිහතමානී සිත්දාරියෙක්. මෙතෙක් පැමිණි මේ ගමනට ඔබට උදව් කළ පිරිස ගැන මතක් කලොත් ?

ඔව් ඇත්තටම මට ශක්තියක් වුණ අය නම් බොහොමයක් සිටිනවා . නම් වශයෙන් කියන්න ගියොත් විශාල පිරිසක් කිව යුතු නිසා නම් සඳහන් කරන්න අමාරුයි . නමුත් ඒ සියලුම දෙනා හැමදාමත් මගේ හදවතේ ඉන්නවා. වචනයකින් හරි මට ශක්තියක් වුණ හැමෝටම මගේ ආදරය සහ ගෞරවය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

6).මේ තරම් කඩවසම් රූපයක් තියාගන්න රහස මොකක්ද ?

මම හිතන විදියට ඕනම කෙනෙකුට තමන්ට ආවේනික ලස්සනක් තියෙනවා. workout එක සහ එදොනෙදා ජීවිතයේ කන බොන ආහාර පිළිබඳව මම ටිකක් හිතනවා. ඒ වගේම ගෙවන හැම මොහොතක්ම සතුටින් ඉන්න මම උත්සාහ කරනවා. විශේෂ දෙයක්නම් කරන්නේ නැහැ . හැම වෙලාවෙම පිළිවෙළට පිරිසිදුව ඉන්නවා.

7).විලාසිතා ගැන හෂාන් මොනවද හිතන්නේ?

ඕනෑම කෙනෙක් කැමතියි විලාසිතා කරලා ලස්සනට ඉන්න. නමුත් එකිනෙකා විලාසිතාවන් දිහා බලන විදිය වෙනස්නේ. මම කැමති මට ගැළපෙන ඉතාම සරල විදියට විලාසිතා තෝරගන්න. විලාසිතාවන් අත්හදා බලන්න ඕන නමුත් තමන්ට ගැලපෙන විලාසිතාවන් කරනවනම් හොදයි කියන දේ තමයි මම පෞද්ගලිකව හිතන්නේ


8). “දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම” මේ දින වල අතිශය ජනප්‍රිය “කදිර දිව්‍යරාජ” සිනමාපටයේ ඔබ නිරූපණය කරන්නේ ගණ දෙවිදුන්ගේ චරිතය. මම වගේම ගොඩක් අය කැමතියි ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න.

ඔව් මේ දිනවල බොහෝ දෙනා ආදරය කරන සිනමා පටයක් තමයි “කදිර දිව්‍යරාජ”.
මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්, නිෂ්පාදනය කළේ ආචාර්ය රවී ලියනගේ මහතා විසින්.
මෙය කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ ප්‍රේම කතාව මුලීක කරගෙන නිර්මාණය වූ සිනමා පටයක්. හදවතින් දුටු කඳ සුරිඳු දෑසින්ම දැකගන්න පුලුවන් .බොහෝ දෙනා දෙවියන්ට ආදරය කරන නිසාම මේ වන විට සිනමා ශාලා පිරී යන අතර හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ක්ෂේත්‍රයේ සිටින දැවැන්තයින් සමඟ කතරගම දෙවිඳුගේ සොහොයුරා වන ගණ දෙවිදුගේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබීමද මම ලද වාසනාවක් කියලා හිතනවා.

9).ඔබ ගණ දෙවියන්ගේ හොඳ භක්තිකයෙක් කියන්නේ ඇත්තද?
ගණ දෙවිඳුන්ගේ චරිත නිරූපණය ඔබේ පළමු සිනමා නිර්මාණය වීම ගැන දැනෙන හැඟීම මොන වගේද?

ඔව්! මම කුඩා කල සිටම ගණ දෙවියන්ට ආදරය කරන කෙනෙක්.ඉතින් පළමු සිනමා නිර්මාණයෙන්ම ඒ වගේ චරිතයක් හරහා සිනමාවට ප්‍රවිශ්ඨ වෙන්න මම හීනයකින්වත් හිතලා තිබුණේ නැහැ . ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයා මාව දැකලා තිබුණත් සිනමාව හරහා මුල්ම අඩිතාලම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු “කදිර දිව්‍යරාජ’ හරහා තැබීමට අවස්ථාව ලැබීම මගේ ජීවිතේ හොදම අවස්ථාවක් විදියටයි මම හිතන්නේ. කතරගම දෙවියන්ට වගේම ගණ දෙවියන්ටත් බොහොමයක් බැතිමතුන් ලෝකය පුරා සිටිනවා. ඉතින් එහෙම චරිතයක් හරහා සිනමාවේ පළමු අත්දැකීම ලැබුණු මට මේ වන විට සිනමා පටය නැරඹු පිරිසගෙන් විශාල ආදරයක් ලැබෙනවා. මේ සිනමාපටයේ කතරගම දෙවියන්ගේ සහෝදරයා තමයි ගණ දෙවිඳුන් .ඒ වගේම කතරගම දෙවියන්ගේ සහ වල්ලී මාතාවගේ ආදර කතාවෙහි තම සහෝදර කතරගම දෙවිඳුන්ට ගණ දෙවියන් විසින් ඇත් වේශයක් මවාගෙන උපකාර කරනවා. ගණ දෙවියන්ගේ චරිතයට මා තෝරාපත් කර ගන්නේ විමල් දේශප්‍රිය මහතා විසින්. ඔහුට විශේෂයෙන් ස්තූතියි මට මේ අවස්ථාව දුන්නාට.

10). ඉදිරි බලාපොරොත්තු සහ අලුත් කලා කටයුතු මොනවද ?

ඉදිරියේදී මම දායකත්වය ලබා දුන් ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. ඉක්මනින්ම මගේ අලුත් නිර්මාණත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුලුවන්. ටෙලිනාට්‍ය වගේම තවත් සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ හැම දෙයකටම මට හැකි උපරිමයෙන් දායකත්වය ලබා දී සාර්ථක නිර්මාණයන් හරහා ක්ෂේත්‍රයේ හොඳින් වැඩ කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

හංසි ද සිල්වා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button