චැනල් අයි දුන්නේ කුළියටද, බද්දටද? බන්දුල – අනුර ගැටෙති

චැනල් අයි නාළිකාව, ලයිකා මොබයිල් ආයතනය වෙත බදු දීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර උණුසුම් වාද විවාද ඇති වුණා.

අදාළ නාළිකාව ලයිකා මොබයිල් මව් සමාගමට අයත් VIS Broadcasting (Pvt) Ltd ආයතනය වෙත මාස හයක් සඳහා කුළී පදනම යටතේ පමණක් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් කිසිදු විටෙක විකිණීමක් හෝ බදු දීමක් සිදු නොවන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද, එය කුළී පදනම යටතේ නොව බදු පදනම යටතේ ලබා දීම සඳහා කැබිනට් අනුමැති සඳහා ඉල්ලුම් කර ඇති බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

ඒ, අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව උපුටා දක්වමින්.

කෙසේ වෙතත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම කැබිනට් පත්‍රිකාවේ ‘කුළියට දීම’ වෙනුව⁣ට ‘බදු දීම’ ලෙස සඳහන් වීම තමන්ගේ වරදක් නොව එය, පත්‍රිකාව සකස් කරන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අතපසු වීමක් බවයි.

අමාත්‍යාංශ ලේකම්වරයා කැබිනට් පත්‍රිකාව සකස් කළද අවසානයේ එයට අත්සන් කරනු ලබන්නේ අමාත්‍යවරයා හෙයින් එහි වගකීම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ගත යුතු බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ගනුදෙනුව සම්බන්ධව වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි අධිකරණයේදී ඔප්පු වුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button