උසස් පෙළ ලියා එමින් සිටි පෙම්වතියට ඇසි ඩ් පොවන්න හැදූ පෙම්වතාට වැඩේ වැරදුනු හැටි

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පියා සමග ත්‍රිරෝද රථයෙන් විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවියකට ඇයගේ පෙම්වතා යැයි කියන තරුණයකු ඇසිඩ් පෙවීමට උත්සාහ දරද්දී, ඇසිඩ් විසිරී යෑමෙන් සිසුවිය, පියා සහ තරුණයා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඊයේ (23 වැනිදා) දහවල් ඇතුළත් කර ඇත.

සිසුවිය සිය පියා සමග කෑගල්ල නගරයේ විභාග මධ්‍යස්ථානයකට ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී පරගම්මන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි තරුණයකු ත්‍රි රෝද රථය හරස් කර යතුරු පැදිය නවතා සිසුවියගේ ගෙලෙන් අල්ලා ඇසිඩ් පෙවීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේ සිසුවියගේ පියා තරුණයා සමග පොර බඳා ඇත.

එහිදී ඇසිඩ් විසිරීම නිසා සිසුවිය, පියා සහ තරුණයා පිලිස්සුම් තුවාල ලබා කෑගල්ල රෝහලට ඊයේ දහවල් ඇතුළත් කළ බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 වියැති පාසල් සිසුවියක්, ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය සඳහන් කරයි.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ 21 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට දෙවැනි වරට පෙනී සිටීමට කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක විභාග මධ්‍යස්ථානයකට සිය පියාට අයත් ත්‍රිරෝද රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියවී ඇත.

එම අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය උදුරාගෙන තරුණයාට පහරදී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේ ඇසිඩ් විසිරී තිබේ.

සිසුවියගේ මව පොලිසියට පවසා ඇත්තේ කෑගල්ල නගරයේ පදිංචිව සිටින තම හිතවතියකගේ 21 හැවිරිදි පිරිමි දරුවා සමග කාලයක සිට දියණිය ප්‍රේම සම්බන්දතාවක් පැවැති බවත් එම සම්බන්ධතාවට දෙපාර්ශ්වයේම කැමැත්ත ලබාදී තිබූ බවත්ය.

දියණිය වැඩි දුරටත් ඉගෙනුම ලැබීම සම්බන්ධයෙන් පෙම්වතා කීප අවස්ථාවක දීම අකැමැත්ත ප්‍රකාශ කර තිබුණු බවත්, දියණියගේ දුරකථනයට වෙනත් කිසිවකු හා කතා කරනවාට ඔහු විරුද්ධත්වය දක්වා ඇති බවත් මව කියා සිටියාය.

පෙම්වතාගේ දැඩි නීතිරීති නිසා පෙම් සබඳතාව නතර කිරීමට සිසුවිය යෝජනා කර තිබේ. මින් කිපුණු තරුණයා සිසුවියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බවට ඇගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්ද එවා ඇත.

මේ පිළිබඳ කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත බණ්ඩාර, කාන්තා පොලිස් පරීක්ෂිකා දීපා හේමමාලි, උප පොලිස් පරීක්ෂක බුද්ධික, උප පොලිස් පරීක්ෂක අනුර කුමාර, පොලිස් සැරයන් සම්පත් (64324) විමර්ශන කටයුතු සිදු කරයි. ඇසිඩ් වැදීම නිසා තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය පවසයි.