විනය පරීක්ෂණයක් කරන්න මාතලේට ගිය පොලිස් ලොක්කා ලක්ෂ ගානක කා බී හෝටලයට පොල්ල තබා පැන යයි ?

මාතලේ, නාවුල පොලිසියේ නිලධාරීන් පිරිසක් පසුගිය වසරේ මාර්තු 20 වැනිදා රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් සිදු කළේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ අපරාධකරුවන් පිරිසක් සොයාගැනීමේ අටියෙනි. එම වැටලීම් අතරතුරදී පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම අවස්ථාවේදී තමා අත්අඩංගුවට ගැනීමේ උත්සහාය ව්‍යර්ථ කරමින් ඔහු පොලිස් නිලධාරීන්ට පහරදෙන්නට විය.

එම පහරදීම අතරතුර පොලිසියේ සැරයන්වරයකු ජාවාරම්කරුට වෙඩි තබා තිබුණේ සිය රාජකාරී ගිනිඅවියෙනි. පොලිස් වෙඩි පහරට ලක්වූ එම සැකකරු මියගියේය. එලෙස වෙඩි තැබූ පොලිස් සැරයන්වරයා නාවුල පොලිසිය විසින්ම අත්අඩංගුවට ගත් අතර, පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. තවද, එම සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කර මොහු සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. මේ වනවිට ඔහු යළිත් සේවයේ පිහිටුවා ඇති අතර, මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ මෙම නිලධාරියාට එරෙහිව නඩුවක්ද නාවුල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතී.

මෙම නඩුවේ විත්තිකාර පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින්නේ පොලිස් නීති කොට්ඨාසයයි. එම නඩුවේ සාක්ෂි විභාගය පැවැතියේ පසුගිය දෙසැම්බර් 13 වැනිදාය. එදින සාක්ෂි විමසීම සඳහා පොලිස් නීති කොට්ඨාසයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරින් දස දෙනකු කොළඹ සිට පැමිණ තිබිණි. ඊට අමතරව එකී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ බිරිඳ හා දරුවාද පැමිණ තිබිණි. පොලිස් නිලධාරීන් අට දෙනකු විවිධ ස්ථානවල නවාතැන්ගෙන ඇති අතර, රියදුරන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ දරු පවුල සමඟ රැදී සිට ඇත.

මෙම උසස් නිලධාරියා විසින් තමා,බිරිඳ, දරුවා සහ රියදුරන් දෙදෙනාට නවාතැන් ගැනීමට සුපිරි පන්තියේ හෝටලයක් වෙන්කර දීමේ වගකීම පවරා තිබුණේ නාවුල පොලිස් ස්ථානාධිපතිවරයාට ය. ඒ අනුව පොලිසිය පිටුපස ඇති සුඛෝපභෝගී හෝටලයක් ඔවුන් වෙනුවෙන් වෙන්කර දී තිබිණි. මේ අනුව උසස් නිලධාරියා, බිරිඳ හා දරුවාට එක් කාමරයක් ද රියදුරන් දෙදෙනාට තවත් කාමරයක් ද වෙන්කරවා ගෙන ඇත්තේ දින තුනක නවාතැන් ගෙන ආපසු යන විට ගෙවීම් කරන බව සඳහන් කරමිනි. දෙසැම්බර් 13 වැනිදා සිට දින 03ක් ඔවුන් එම හෝටලයේ නවාතැන් ගෙන ආහාර පාන ලබාගෙන තිබිණි. ඒ වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ විසිදෙදහස් දෙසිය විස්සක (122,220)ක බිලක් ගෙවීමට නියමිතව තිබියදී මෙම උසස් නිලධාරියා ඇතුළු පිරිස දෙසැම්බර් 15 වැනිදා හෝටලයෙන් පිටත්ව ගියේ සත පහක් හෝ නොගෙවා බව හෝටලයේ කළමනාකරු සනත් හේරත් පැවසීය.

කළමනාකාරු මේ ගැන නාවුල පොලිස් ස්ථානාධිපතිවරයාට පැවසීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ එම බිල ගෙවීමට තරම් මුදලක් තමා සතුව නොමැති බවයි.

හෝටලයකින් ආහාර ගෙන මුදල් ගෙවීමට නොහැකි වූ අයකුට සාමාන්‍යයෙන් සිදුවන්නේ හෝටලයේ වළං සේදීමටය. එහෙත් අනුන් කෑ කෑමවලට වළං සේදීමට නොහැකි නිසා උසස් නිලධාරියාගේ බිලෙන් කොටසක් (ආහාර පාන වියදම) හෝ ගෙවා දැමීමට ස්ථානාධිපතිවරයා කල්පනා කළේය. ඒ අතරතුර මෙම උසස් නිලධාරියා සිදුකළ ක්‍රියාව සමාජය පුරා පැතිරුණේ උණු කැවුම් පරිද්දෙනි.
මේ බීල පහළ පොලිස් නිලධාරීන් ගෙන් අය කරගැනීමට යාම සම්බන්දයෙන් මහනුවර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති වරයාට පැමිණිලි කර ඇති අතර ඒ පිලිබඳ කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස පොලිස් පොඩ්ඩෝ ඉල්ලා ඇත