රෙජිනෝල්ඩ් මිය ගියේ ගෙවිඳු බැන්න නිසා ඇතිවුන වේදනාවෙන්ලු !

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනි. මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවට ආණ්ඩු පාර්ශ්වයෙන් පුවත් නිර්මාණය කළ ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ කඩින් කඩ මහා භාණ්ඩාගාරය මුදල් දීමට එකඟතාව පළ කර තිබෙන බවය. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත්තේ මින් පෙර මැතිවරණ සඳහා එකවර මුදල් නොලැබුණු බවය. එම මුදල් අදියර කිහිපයක් යටතේ ලැබුණු බව ඔහු පවසා තිබිණි. කෙසේ නමුදු සල්ලි නැති ප්‍රශ්නයක් මවා පාමින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට විපක්ෂය චෝදනා කරති. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙවර රැස් වූ කැබිනට් මණ්ඩලයද මූල්‍යමය ප්‍රශ්නය ගැන සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන කතාබහ කෙරුණි.

බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගිහින්

‘‘මැතිවරණ කොමිසම වැඩ කරන විදිහ ගැන ගැටලු තියෙනවා.’’ ඇමැති ප්‍රසන්න රණතුංග කීවේය. වියදම් පියවීමට නොහැකි වීම ගැනද ඇමැති මණ්ඩලය කතාබහට ලක් කළහ. මැතිවරණය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගන්නා ලෙසට ජනාධිපතිවරයා කොමිෂන් සභාවට උපදෙස් දුන්නත් අමැතිවරු කියා සිටියේ කොමිසම එලෙස නොකළ යුතු බවයි. ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ නීතිපති උපදෙස් ගන්නා තෙක් ඇප මුදල් භාර ගැනීම නතර කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට දැනුම් දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ‘‘23/misc (001) හා 2023.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ සමග බැඳේ’’ යනුවෙන් සඳහන් කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කළ බව ආණ්ඩුව මාධ්‍යට කියා සිටියහ. එහෙත් මෙම ලිපිය යොමු කිරීමෙන් පසු ලිපියේ පිටපතක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලැබිණි. වහාම ක්‍රියාත්මක වූ විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවක් පවත්වා එය රටටම හෙලි කළේ ඇප මුදල් භාරගන්නා ලෙසට මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට යොමු කළ ලිපියක් ද සමගිනි. ඒ සමග විපක්ෂය කීවේ රාජ්‍ය පරිපාලන ලේකම්ට එවැනි ලිපියක් යැවීමට බලයක් නැති බවය. ඊට හේතුව වූයේ මැතිවරණ කොමිසම ගන්නා තීරණයන්ට අකුල් හෙළීමට කැබිනට්ටුවට නොහැකි බැවිනි.

කැබිනෙට්ටුව දන්නේ නෑ

එහෙත් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වූ ඇමැතිවරු ප්‍රකාශ කරන්නේ ඇප මුදල් භාර නොගැනීමට කිසිදු තීන්දුවක් නොගත් බවය. ‘‘ඒ ගැන කතා කළේවත් නැහැ’’ ඇමැතිවරයෙක් මෙම තීරයට කීවේය. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියට එරෙහිව සමගි ජන බලවේගය නඩුවක්ද ගොනුකර ඇත. එහි තීන්දුව ඉදිරියේදී ලැබීමට නියමිතය. මේ අතර ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් ගත් බවට වාර්තා වීමෙන් පසු රාජ්‍ය පරිපාලන ලේකම් ලිපිය නැවත කැඳවා ගත් බවයි. රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ ලිපිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට ලැබෙන්නේද අතිනි. මෙම ලිපිය සකස් කරන විට සියලු දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවා තිබුණේ අගමැතිවරයා විසිනි. ඒ ආහාර සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳ කතා කිරීමටය. එම සාකච්ඡාවේදී මෙම ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට අතින් භාරදුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ලිපිය සම්බන්ධයෙන් කතා කිරීමට ඔහු මැතිවරණ කොමිෂන් සභාවටද කැඳවන බව එහි සභාපතිවරයා මාධ්‍ය හමුවක් තියමින් රටට හෙළි කළේ ය. පළාත් පාලන මැතිවරණ සඳහා දේශපාලන පක්ෂ නාම යෝජනා අත්සන් කිරීම සහ ඇප මුදල් තැන්පත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. මැතිවරණයට ඉදිරිපත්වන ආකාරය ගැනද දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

කොළඹට පොහොට්ටුව අලියාගෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයද එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සාකච්ඡා වට කිහිපයක්ද පැවැත් වීය. ඇතැම් සාකච්ඡා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින්ද පැවැත් විණි. අවසානයේ පක්ෂ දෙක එකතුව ඇතැම් දිස්‍ත්‍රික්කවලට ඉදිරිපත් වීමට කැමැත්ත පළකර තිබේ. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොහොට්ටුවද ‘අලියා’ ලකුණෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටිති.

මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුරේදී පළාත් පාලන ඡන්දය සඳහා නව ලාංඡනයක් යටතේ නව පෙරමුණක් ලෙස තරග කරන ලෙස එක්සත් ජාතික පක්ෂයට ඉල්ලීම් ගණනාවක්ද ලැබී ඇත. ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඉදිරියේදී තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමටද නියමිතය.

මෛත්‍රි හෙලිකොප්ටරයට නගී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්ව පක්ෂයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හතළිහක් පමණ හෙලිකොප්ටරයේ ලකුණෙන් නව සන්ධානයක් මෙම සතියේ බිහි කළේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහාය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම නායකත්වය දෙන නිදහස ජනතා සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ නායකත්ය දෙන උත්තර ලංකා සභාගය, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයා නායකත්වය දෙන ජනජය පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු ඒකාබද්ධව මෙම සන්ධානය බිහි කළහ.

ඩලස් – දයාසිරි දුන් නම

මෙම සන්ධානය බිහි කිරීම සඳහා අවසන් සාකච්ඡා පැවැත් වුණේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේය. ‘‘අපේ එකතුවට නිදහස ජනතා පෙරමුණ’ නම දාමු’ යෝජනාව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගෙනි. ‘‘එහෙම බැහැ. අපි සන්ධානගත වන නිසා පෙරමුණ ඉවත් කරලා සන්ධානය කෑල්ල දාමු‘’ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා යෝජනා කළේ ය. එම යෝජනාව ස්ථිර කරමින් නිදහස ජනතා සන්ධානය බිහි කිරීමට තීරණය විය. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මැතිවරණවලට ඉදිරිපත් වීමටද තීන්දු විය. මෙම සන්ධානයට නායකයන් නොමැත. සිටින්නේ ලේකම්වරයකු පමණි. ලේකම් ධුරය නාලක ගොඩහේවා, දයාසිරි ජයසේකර හා උදය ගම්මන්පිල මන්ත්‍රිවරැන්ගේ නම් යෝජනා විය. එහෙත් ලේකම් ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටීම නිසා හිටපු නියෝජ්‍ය කථානායකවරයකු වන තිලංග සුමතිපාල තෝරා ගැනීමට තීන්දු විය.

චම්පික පිටුපායි

නිදහස ජාතික සන්ධානය බිහි කිරීමේ සාකච්ඡා පිළිබඳ මාධ්‍ය පළමු වරට කරුණු ඉදිරිපත්කරන විට හතළිස් තුන්වන සේනාංකයද ඊට එක්වන බව අනාවරණ විය. මෙම සාකච්ඡා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ, කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත් විණි. එම සාකච්ඡා සඳහා හතළිස්තුන් වන සේනාංකය සහභාගි වුවද සන්ධානගත නොවන බව නිවේදනයක් නිකුත් කරමින් කීවේය. සන්ධානය එළිදැක්වූ දිනද හතළිස් තුන්වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක පැමිණ සිටියේ නැත. ඒ ගැන කාගේත් අවධානය යොමු වූහ. ‘‘මම ඔය සන්ධානයට යන්නේ නැහැ. විමල් – උදය එක්ක මොන සන්ධානද?’’ සිය තීරණයට බලපෑ හේතු චම්පික රණවක මන්ත්‍රිවරයා හිතවතුන්ට කියා සිටියේය. සන්ධානය එළිදැක්වීමේ උත්සවය පැවැත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේය. එහි විද්‍යුත් මාධ්‍ය සඳහා ආවරණ කලාපයක් සකස් කර තිබුණද මුද්‍රිත මාධ්‍යයට හිමි වූයේ කුඩම්මාගේ සැලකිලිය. සන්ධානයේ ලකුණ ‘හෙලිකොප්ටරය’ බව නිවේදනය කිරීමත් සමග එතැන සිටි ඇතැම් සංවිධායකවරු කියා සිටියේ ‘‘ඇයි පහන ලකුණෙන් එනවා කීවේ’’ යනුවෙනි.

නව සන්ධානය බිහි කළ දිනට පසු දින පාස්කු ප්‍රහාරය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ලැබිණි. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ට චෝදනා එල්ල කරමින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, රාජකාරිය පැහැර හැරීම වැනි වරද කර ඇති බව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කළහ. මෙම තීන්දුවත් සමග කතෝලික පියවරු උසාවි භූමියේදී ප්‍රකාශ කළේ ‘‘මෛත්‍රිපාල සන්ධානගත වීමට පෙර හිරේ යන්න ලැහැස්ති වෙන්න’’ යනුවෙනි. මේ අතරේ නඩු තීන්දුවෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසට දේශපාලන හිතවතුන් රැසක් පැමිණියහ.

හංසයා යළි පීනයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ඇමැති ධුර භාරගත් කණ්ඩායමද ඒකාබද්ධව නව සන්ධානයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ හංසයා ලකුණ යටතේය. හංසයා ලකුණ යටතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙනි. මෙම යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ඇමැති ධුර භාර ගත් මන්ත්‍රිවරු කිහිප දෙනකු විරුද්ධ වී ඇත. ඒ ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්ක සඳහා ඇතැම් පළාත් පාලන ආයතනවලට ස්වාධීන කණ්ඩායම් ලෙස නාම යෝජනා දී තිබීමයි. රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක සිය කණ්ඩායම් වෙනුවෙන් පස්සර, බදුල්ල, ලුණුගල ප්‍රාදේශීය සභා සඳහා මේ වන විට නාම යෝජනා දී ඇත.

මෛත්‍රි ගැන මහින්ද දුක්වෙයි

පාස්කු නඩු තීන්දුවෙන් පසු ඇමැති මහින්ද අමරවීරගේ නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රිවරු කණ්ඩායම හමු වූහ. එහිදී සිය පරණ නායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලැබුණ දඬුවම ගැන ඔවුහු දුක් වූහ. ‘‘මෙය සතුටු වෙන්න පුළුවන් කරුණක් නෙවෙයි. අපේ පක්ෂයේ නායකයා. එතුමා ළඟ ඉන්න ඇතැම් අය නම් සතුටු වෙනවා ඇති.’’ මෙහිදී මැති ඇමැතිවරු ප්‍රකාශ කළහ.

බැසිල් කීවේ කුමක්ද?

ඉන්දියාවේ සංචාරයක නිරත වූ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු ගම්පහ උඩුගම්පොළ කාර්යාලයට පැමිණියේ පළාත් පාලන ඡන්දය පිළිබඳ සාකච්ඡාවකටය. ‘‘ඡන්දයේදී අපි මොකද කරන්නේ. මම බැසිල් ඇමැතිතුමා හම්බ වෙන්න යනවා. ඊට කලින් තීන්දුවක් ගන්න ඕනි.’’ ඇමැතිවරයා රැස්ව සිටි පළාත් පාලන ප්‍රධානින් හා මන්ත්‍රිවරු හමුවේ පැවසුවේය. ‘‘අපි පොහොට්ටුවෙන් ඉල්ලමු‘’ බහුතරය කීහ. සෙසු අයගේ යෝජනාව වූයේ ස්වාධීනව තරග කළ යුතු බවයි. පළාත් පාලන ප්‍රධානින්ගේ අදහස දැනගත් ඇමැතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හමුවිය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එක් වූයේ අහම්බෙනි. සාකච්ඡාව ඔවුන් තිදෙනාට පමණක් සීමා විය. සාකච්ඡාවෙන් පසු ඇමැති ප්‍රසන්න රණතුංග ගම්පහ පළාත් පාලන නියෝජිතයන්ට ප්‍රකාශ කළේ ‘‘පොහොට්ටුවෙන් ඉල්ලන්න වගේම දිනවන්නත් ලැහැස්ති වෙන්න’’ යනුවෙනි.

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගන්නා වූ උපක්‍රම ගැන අවධානයෙන් සිටින ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී තිබිණි. එම නිසා ආණ්ඩුවෙන් ගන්නා වූ සියලු උපක්‍රම සමගි ජන බලවේගයට ලැබෙන ක්‍රමවේදයක්ද සකස් කිරීමට කටයුතු කර තිබිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 12 වැනිදාය. ඒ වෙනුවෙන් කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ සර්ව රාත්‍රික පිරිත් පිංකමක් පැවැත් විණි. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ විසිනි.

අතේ රෝල පත්තුවෙයි

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හමු වී කතාබහක නිරත වීම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි කතාබහක් නිර්මාණය විය. මේ බව ජනාධිපතිවරයාට තොරතුරු දුන්නේ ඇමැති ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේ රාජකාරියක් බාර දීමටය.

‘‘ඔයා මේ සිද්ධිය ගැන ජනාධිපතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලන්න.’’ ඇමැතිවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව මන්ත්‍රිවරයා පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර එහි තොරතුරු ද මාධ්‍යයට දුන්නේ ආණ්ඩු පාර්ශ්වය විසින්මය.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ සැබෑ තොරතුරු කරළියට පැමිණියේ ශ්‍රේෂ්ඨාධිකරණයේදීය. පළාත් පාලන ඡන්දය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සිකුරාදා පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූයේය. එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බව සාලිය පීරිස් කීවේය. ඒ නීතිපතිවරයා පෙනී නොසිටීම හේතුවෙනි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ලෙස කොමිසමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා සිටි බවද ඔහු කීවේය.

අනුරගේ ඔත්තුකරුවා කව්ද?

පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ආණ්ඩුව විවිධ ප්‍රවෘත්ති හිතවත් මාධ්‍ය කණ්ඩායම් යොදාගෙන ඉදිරිපත් කරන බවට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ සිකුරාදා දිනයේය.

‘‘මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල විවිධ මාධ්‍යවේදීන් අල්ලාගෙන ඉන්නේ. මෙයා දාලා මේ ලිපිය ලියන්න පුළුවන්. මෙම සාකච්ඡාව කරන්න පුළුවන් කියලා ජාතික මට්ටමේ තොරතුරු ඇතුළත් ලේඛන මගේ ළඟ තියෙනවා.’’ මන්ත්‍රිවරයා කීවේය. ආණ්ඩුව හදපු ලේඛන ‘‘ඔබතුමා ළඟට ආවේ කොහොමද?’’ මාධ්‍යවේදීන් මාධ්‍ය හමුවෙන් පසු විමසූවත් මන්ත්‍රිවරයා සිනාසුණා මිස කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඒත් මන්ත්‍රිවරයා සිය හිතවතුන් ද සමග ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ සිටින මහාචාර්යවරයෙක් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකු මෙම ලේඛනය සකස් කර ඇති බවයි.

බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැතිවරයකු කැබිනට් ඇමැතිවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු වූ රෙජිනෝල්ඩ් කුරේ ඉකුත් 13 දා මිය ගියේය. ඒ දේශපාලන රැස්වීමක් අතරතුරේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු සිව් දෙනකු සමග ඇති වු උණුසුම් වචන හුවමාරුවක් අතරතුරේ රෝගාතුර වූ ඔහු මියගොස් තිබිණි. පළාත් පාලන ඡන්දය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත් වුණේ පානදුරේදීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හා හිටපු ප්‍රධාන ඇමැතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. එම අවස්ථාවේදී එහි සිටි පිරිස් ප්‍රකාශ කර ඇත්තේ ‘‘රෙජිනෝල්ඩ් ඇමැතිතුමාට හාට් ඇටැක් එකක් ඇවිල්ලා ස්ටෙන්ස් දාල තියෙන්නේ. දැන් නතර කරන්න’’ යනුවෙනි. එහෙත් වචන හුවමාරුව දුරදිග යෑම නිසා අමාරු වූ හිටපු ප්‍රධාන ඇමැතිවරයා වාහනයකින් කළුතර නාගොඩ රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබුණේය. මේ සම්බන්ධ සියලු තොරතුරු රෙජිනෝල්ඩ් කුරේගේ හිටපු පෞද්ගලික ලේකම් ජේ. එම්. සෝමසිරි මරණ පරීක්ෂණයේදී කීවේය. එම නිසා මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රෙජිනෝල්ඩ් කුරේගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ ඉල්ලා සිටියාය.

බස් – කෝචිචි මෑන්

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ‘‘බස් මෑන්’’ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක කීවේය. ඒ පාසල්වලට බස් රථ පරිත්‍යාග කිරීම නිසාය. එහෙත් බස් රථ සහ දුම්රියෙන් ගොස් නිලධාරින් සමග රාජකාරි කරන ඇමැතිවරයෙකුද දියවන්නාවේ සිටින්නේය. ඔහු රොෂාන් රණසිංහය. ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් සිය රාජකාරී කටයුතුවලට පොදු මගී ප්‍රවාහන සේවා භාවිත කිරීමට ඔහු තීරණය කළේය. ඊට නිලධාරින්ගේද කැමැත්ත ලැබිණි. ඒ අනුව ඇමැතිවරයා මෙම සතියේදී කෝච්චියෙන් හා බස් රථයෙන් උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල රාජකාරී කටයුතු සඳහා සහභාගි වූයේය. කුරුණෑගල පැවැති වයඹ ක්‍රීඩා සමුළුවට සහභාගිවීම සඳහා කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා පිටත්ව ගියේ දුම්රියෙනි. දුම්රිය ස්ථානයේ සිට වයඹ පළාත් සභාව දක්වාද බස් රථයෙන් ඇමැතිවරයා පැමිණීම සියලු දෙනාගේම අවධානයට යොමු විය. මෙම බස් රථයෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහද පැමිණියාය.

කුරුණෑගල රැස්වීම අවසන් වීමෙන් පසු ඇමැතිවරයා ඇතුළු නිලධාරින් යාපනය බලා පිටත්ව ගියේද බස්රියෙනි. යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති රැස්වීමෙන් පසු කිලිනොච්චිය, අනුරාධපුරය බලා ද ඇමැතිවරයා පැමිණියේ බසයෙනි. ‘‘වියදම් අඩුකරනවා.’’ මෙම බස් රථ ගමන ගැන ඇසූ විට රොෂාන් රණසිංහ ඇමැතිවරයා කීවේය.

Aruna