උසස් පෙළ උත්තර බැලුවොත් දවසකට 3000 ක් ගෙවනවාලු !

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන් දිරි ගැන්වීම සඳහා රුපියල් තුන්දහසක දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඇගයීම් දීමනාවලට අමතරව ලබා දෙන මෙම දීමනාව සඳහා පමණක් රුපියල් කෝටි හාරසියයකට අධික මුදලක් වැය වන අතර එම මුදල ඉල්ලා ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් මණ්ඩලයට හෙට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

දීමනා වැඩි නොකිරීමේ ගැටලුව හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම සඳහා තවමත් ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් අයැදුම් කර නැති අතර ඒ නිසා දෙවැනි වරටත් එම ගුරුවරුන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබ ඇත. මීට මාස දෙකකට පමණ පෙර කළ අයැදුම්පත් කැඳවීම අනුව තවමත් අයැදුම් කර ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් යැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇගයීම් දීමනා සියයට හැටකින් ඉහළ දැමීමට අදාළව අමාත්‍යාංශය වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි. එහෙත් මේ දක්වා නිශ්චිත එකඟතාවක් නොමැති වීම නිසා ඉහත ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඇගයීම් කටයුතුවලට දැඩි බාධා එල්ල වනු ඇති බවත් දැනට අයැදුම් කර සිටින ගුරුවරුන්ගෙන් පමණක් ඇගයීම් කටයුතු කර ගැනීමට සිදු වුවහොත් ඒ සඳහා දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදු වනු ඇති බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.

උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ මෙම මස 23 වැනිදාය.