GOSSIP

“ඔබ දෙන අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට මං බැඳී නෑ..!” -පොලිස් ඇමැති ටිරාංගේ මුහුණට කී එස්එස්පී රැස්වීමෙන් නැගිට යයි..!!

උපුටා ගැනීම – ලංකා ඊ නිව්ස් -2022.නොවැ.16, ප.ව.6.45)
අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නැතැයි පොලිස් ඇමැති ටිරාං අලස්ගේ මුහුණටම කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පොලිස් ඇමැතිගේ රැස්විමකින් නැගිට ගොස් තිබෙන සතුටුදායක පුවතක් අකලට හෝ වාර්තා කිරීමට හැකි වී තිබේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය..,
ඊයේ (15) පොලිස් ඇමැති ටිරාං අලස්ගේ අමාත්‍යාංශයේ දී පොලිස් ඇමැති හා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාතේ සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, එස්එස්පීවරුන් එස්පීවරුන්, ඒඑස්පීවරුන් කැඳවා සම්මන්ත්‍රණයක් පවත්වා ඇත. එහිදී ටිරාං අලස් පවසා ඇත්තේ ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂන පෙළපාලි පවත්වන අය අත් අඩංගුවට ගත යුතු බවයි. ඒ අනුව පෙරේදා(14) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගිය කාන්තාවන් අත් අඩංගුවට නොගැනීම ගැනත් එම උද්ඝෝෂනයට සහ ටීඅයිඩිය ඉදිරිපිට උද්ඝෝෂනයට බැටන් ප්‍රහාර දී විසිරුවා නොහැරීම ගැනත්  පොලිසියට බැන වැදුණු ටිරාං අලස් එම ප්‍රදේශය බාර එස්එස්පී වරයා කව්දැයි විමසා ඔහුට නැගිටින ලෙස පවසා ඇත. එවිට කොළඹ දකුණ බාර එස්එස්පී ගයන්ත හසන්ත මාරපන නැගිට ඇත.
පෙරේදා(14) එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත පා ගමනින් ගිය හිරුණිකා ඇතුළු කාන්තාවක් අත් අඩංගුවට ගන්නැයි ප්‍රදේශය බාර ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එස්එස්පී ගයන්ත මාරපනට නියෝග කළ නමුත් ඔහු එම නියෝගය ක්‍රියාත්මක නොකළ අතර පසුව දේශබන්ධු එස්එස්පී එස්පී සියළු දෙනා බයිපාස් කර ඍජුවම කුරුඳුවත්ත පොලිසිය බාර ඕඅයිසී වරයාට නියෝග දී කාන්තාවන් අත් අඩංගුවට ගෙන තිබිණ. ඒ අනුව එස්එස්පී ගයන්ත මාරපන කෙරෙහි ටිරාං අලස් දැඩි කෝපයකින් පසුවී තිබිණ.
ටිරාං තර්ජනය කරයි..
ගයන්ත මාරපන නැගිටීමෙන් පසුව ටිරාං අලස් කතා කරමින් තමන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්න බැරි අයෙක් සිටී නම් පොලිසියෙන් ඉවත්ව යන ලෙසත් මාරුවීම් බලාපොරොත්තු වන ලෙසත් තර්ජනය කරමින් එදින කාන්තාවන් අත් අඩංගුවට නොගත්තේ මන්දැයි එස්එස්පී ගයන්ත මාරපන ගෙන් විමසීය.
මාරපන පිළිතුරු දෙමින් “චෝදනාව කුමක්දැ” යි පෙරළා ප්‍රශ්න කළ අතර තමන්ට චෝදනාවක් නොමැතිව මිනිසුන් අත් අඩංගුවට ගන්නැයි නියෝග දී මානව හිමිකම් නඩු වලට මුහුණ දීමට නොහැකි යයි පවසා ඇත. එවිට පොලිස්පතිවරයා දෙසට හැරුණු ටිරාං අලස්,  “එහි මොකද චෝදනාවක් නැත්තේ. ආණ්ඩුවට විරුද්ධ වීම චෝදනාවක් නොවේද?” යි විමසූ විට පොලිස්පති වික්‍රමරත්න ගොත ගසමින් කියා සිටියේ එය චෝදනාවක් නොවන බවයි.
ටිරාංගේ මුහුණට කියා එස්එස්පී මාරපන නැගිට යයි..
එයින් ද කුපිත වූ ටිරාං අලස් පවසා සිටියේ කෙසේ වෙතත් තමන්ගේ නියෝග ක්‍රියාත්මක කළ නොහැකි නම් පොලිසියෙන් ඉවත්ව යන ලෙසයි. ඊට පිළිතුරු දුන් එස්එස්පී මාරපන තමන් එස්අයි වරයෙකු ලෙස පොලිසියට බැඳී එස්එස්පී වරයෙකු දක්වා පැමිණ ඇත්තේ අනීතික නියෝග ක්‍රියාත්ම කිරීමෙන් නොවන බවත් අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙකු බැඳී නැති බවත් පොලිස් ඇමැති ටිරාංගේ මුහුණටම පවසා සම්මන්ත්‍රණයෙන් පිටව ගොස් ඇත.
සිද්ධියෙන් පසු එතැන සිටි දේශබන්ධු වැනි පාදඩයන් හැර සියළුම පොලිස් නිලධාරීන් එස්එස්පී මාරපනගේ ක්‍රියාව අගයමින් ඔහුට සුබ පතා තිබේ. අද දවසේ මේ සිද්ධිය ලංකාව පුරා සිටින ඉහළ පොලිස් නිලධාරීන් වෙත ආරංචි වී තිබෙන අතර රට පුරා සිටින නිලධාරීන් එස්එස්පී මාරපනට සුබ පතා ඇත.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් එක් නීතිඥ සංගමයකින් විමසා සිටි කල ඔවුන් පවසා සිටියේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ගොස් මර්දනයට ලක්වන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තම සංගමය නොමිලේ පෙනී සිටිනු ඇති බවයි. එබැවින් දේසපාලුවන්ගේ අනීතික නියෝග පසෙක ලා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙක් බිය වීමට කාරණයක් නොමැති බවත් එකී නීතිඥ සංගමය වැඩි දුරටත් කියා සිටියේ ය.
ත්‍රස්තවාදීන්ට මුදල් දුන් දේශද්‍රෝහී ටිරාංට බලයක් නෑ…
මේ අතර පොලිස් ඇමැති ටිරාං අලස් යනු අප පෙර ලිපියකින් ද හෙළිදරව් කළ පරිදි ත්‍රස්තවාදී සංවිධානයකට මුදලින් ආධාර කර හසුවූ නමුත් දේශපාලන හයියෙන් බේරී සිටින දේශද්‍රෝහී පුද්ගලයෙකි. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලොවම පිළිගත් සංවිධානයකට රහසේ මුදල් ආධාර කළ පුද්ගයෙක් පොලිසිය බාර ඇමැතිවරයෙක් වී මෙලොව සිටිනේ වත්මන් ලංකාවේ පමණි.
ටිරාං කෙතරම් පම්පෝරි ගැසුවද ඉහළ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීමට ඔහුට බලයක් නැත. 20 වැනි සංශෝධනයෙන් පොලිස් කොමිසමේ එම බලය රාජ්‍ය සේවා කොමිසමට මාරු වුන ද දැන් 22 වන සංශෝධනය ක්‍රියාත්මක වන බැවින් යළි ඉහළ පොලිස් නිලධාරීන්ගේ මාරුවීම් සිදුකිරීමේ බලය පොලිස් කොමිසම අතට පත් වී ඇත. මෙතෙක් පොලිස් කොමිසම පත් කර නොමැති බැවින් එය කිසිසේත්ම පොලිස් ඇමැතියාට හිතුමතයේ කළ නොහැක්කකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිට පළාතක එස්එස්පීවරයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ අද අනීතික අත් අඩංගුවට ගැනීම් කරන්නැයි නියෝග දෙන ටිරාං අලස් හෙට එහිම අනෙක් පැත්ත වන අත් අඩංගුවට ගන්නා අපරාධකාරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් නිදහස් කරන ලෙස ද නියෝග දෙනු ඇති බවයි. එබැවික් එස්එස්පී ගයන්ත මාරපන සියළු නීති ගරුක පොලිස් නිලධාරීන්ගේ ගෞරවයට පාත්‍රවිය යුතු බවද ඔහු පැවසීය.
-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි
උපුටා ගැනීම – ලංකා ඊ නිව්ස්