NEWS

මෙරට කාන්තාවෝ ඩුබායි වල අපා දුක් විඳිති..85 කටම ඇත්තේ එක වැසිකිළියයි..දවසට කෑම එක වේලයි

දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකින් ඩුබායි ගෘහ සේවය සඳහා ගිය කාන්තාවක ඩුබායිහි රැඳවුම් කඳවුරක මාස තුනක කාලයක් ගතකොට මෙරටට පැමිණ එහි කාන්තාවන් විඳින විවිධ දුක්කරදර බාධක පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළාය.

දඹුල්ල දඹුලුඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා මෙම අමිහිරි අත්දැකීම් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලිසියට මෙන්ම තමන් විදේශ ගත කළ රැකියා නියෝජිත ආයතනයට පවා දැනුම් දුන්නද මෙතෙක් ඊට කිසිදු සාධාරණයක් සිදුවී නැති බව පවසන්නීය.

එමෙන්ම ඩුබායිහි තමන් රඳවා සිටි ස්ථානයේ තවත් ලාංකික කතුන් අසූපස් දෙනකු කාමරයක දමා සිර කරගෙන සිටින බවද ඈ වැඩිදුරටත් සඳහන් කළාය.

දඹුල්ල ප්‍රදේශයේ ඩුබායිහි රැකියා ලබාදෙන පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මඟින් ඩුබායි යැවූ කාන්තාවකගේ සහෝදරියක
වන දුලීකා ප්‍රියන්ති මහත්මියද මේ වන විට තම සහෝදරිය එරට අතරමංව සිටින සිද්ධිය පිළිබඳවද හෙළිදරව් කළාය.

මාස තුනක පමණ කාලයක් ඩුබායිහි කඳවුරක සිර කරගෙන සිටියදී තම දූ දරුවන් විශාලම මුදලක් ණයවී මෙරටට පසුගියදා තමාව ගෙන්වා ගත් බව ලලිතා පද්මිණී සඳහන් කර සිටියාය. වැඩිදුරටත් ඇය කියා සිටියේ සංචාරක වීසා මත මෙම රැකියා ආයතනය මඟින් විශාල කාන්තාවන් පිරිසක් ඩුබායි රටට දිනපතා යවන බවයි. යවන සියලුම කාන්තාවන් එරට රැඳී සිටින රැකියා නියෝජිතවරියක සහ තවත් කිහිපදෙනකු විසින් භාරගෙන ඔවුන් විශාල කාමරවල දමා දිනකට එක වේලක් හෝ ආහාරදී අනෙකුත් සියලු සනීපාරක්ෂක කටයුතු හෝ ආහාර නොමැතිව ඇඳුම් පැලඳුම්ද නොමැතිව දුක්විඳින බවද ඈ කීවාය.

ඇතැම් දිනවල මෙම කාන්තාවන් දින දෙකක්, හතරක්, පහක්, සතියක් වශයෙන් වෙනත් නිවෙස්වලට යොමු කොට එම මුදල විදේශ රැකියා ආයතන මඟින් ලබා ගන්නා බවද ඈ සඳහන් කළාය.

තමන් රැඳී සිටි ස්ථානයට හිරුඑළිය පවා නොවැටෙන බවත් දොරගුළු ජනෙල් වසා දමා දවස පුරා සිරකරගෙන සිටින බවද ඈ අමිහිරි අත්දැකීම් රැසක් විස්තර කරමින් පැවැසුවාය.
එකිනෙකා යට ඇඳුම පවා මාරු කරගෙන අඳින බවත් අඩුම තරමේ දියනෑමට සබන් කැටයක් හෝ නැති බවත් එක වැසිකිළිය කාන්තාවන් 85 දෙනාම භාවිත කරන බවත් පැවැසුවාය.

මහල් කිහිපයකින් යුත් එම ස්ථානයේ අනෙකුත් මහල්වල පිරිමි පුද්ගලයන් සහ තවත් කාන්තාවන් සිටින බවත් ඔවුන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේද නොදන්නා බවද පද්මිණී මහත්මිය වැඩිදුරටත් කීවාය.

එමෙන්ම දුලීකා ප්‍රියන්ති නමැති කාන්තාව පැවැසුවේ තම සහෝදරිය ඩුබායි රටට යවා මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් රැකියාවක් ලබානොදී ඇය සිර කරගෙන සිටින බවය. නිවෙසට කතා කිරීමට හෝ අවස්ථාවක් නොලැබෙන බවද ඇය සඳහන් කළ අතර තවත් පිරිසක් එහි රැඳීසිටින බවද කීවාය.

දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුට දුරකථනය හරහා අප කතා කිරීමේදී ඔහු කියා සිටියේ තමන් විදේශ රැකියා සඳහා යැවූ අයට කෙසේ හෝ රැකියා ලබාදෙන බවය. එමෙන්ම ඔවුන් රැකියා කිරීම සඳහා අකැමැත්තක් දැක්වීම නිසා රැඳී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මෙම බරපතළ කාන්තා හිංසනය මෙන්ම ශ්‍රමිකයන් සූක්ෂ්ම ලෙස අලෙවි කිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් ඩුබායි රැඳී සිටින තැරැව්කාර රැකියා නියෝජිතවරියගෙන්ද අප දුරකථනය හරහා කරුණු විමසීමේදී ඇය කියා සිටියේද කාන්තාවන්ගේ හැසිරීම් රටාව නිසා මෙවැනි තත්ත්වයන්වලට පත්ව තිබෙන බවය.

වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඇය තම දුරකථනය විසන්ධි කිරීමද විශේෂත්වයකි, දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති රැකියා නියෝජිත ආයතනයේ සේවිකාවකට නැවත ඇමැතුමක් ලබා ගනිද්දී ඇය නමක් සඳහන් කිරීමට හෝ නොහැකි බවත් කෙසේ හෝ මෙම ප්‍රශ්නය පොලිසිය හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා විසඳා ගන්නා ලෙසත් කීවාය.

උපුටා ගැනීම – මව්බිම