බලු සංඛ බේරාගන්න පොලීසියට බල්ලන් උසි ගැන්වූ පවුලක් අල්ලයි

මහනුවර තැන්නෙකුඹුර ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට දරුණු සුනඛයන් දෙදෙනෙකු උසිගැන්වූවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ මව, පියා සහ දියණිය ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තැන්නෙකුඹුර, ඉළුක්මෝදර සුසාන භූමිය අසල පිහිටි නිවසක තරුණයන් පිරිසක් නිතර මත්කුඩු පානය කරන බවට ලැබුණු තොරතුරක් මත එහි ගොස් අදාළ තරුණයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ, ඔවුන් පොලීසියෙන් මුදා ගැනීමට රොට් වයලර් වර්ගයේ සහ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකු උසි ගන්වා ඇතැයි සඳහන්.
සුනඛයින් නිළධාරීන් වෙත කඩා පැනීමත් සමඟ මාංචු සමඟ සිටි සැකකරුවන් පැන ගොස් තිබෙනවා.
මාංචු සමඟ පලාගිය පිරිසේ සිටි ‘බලු සංඛ’ නම් පුද්ගලයා මීට පෙර අවස්ථාවක මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.