NEWS

ආහාර තොග රැස්කර තබාගැනීම වළක්වන්න නව නීති

ආහාර තොග රැස්කර තබාගැනීම වැළැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහපරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය ඉදිරියේදී නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය ලබාදීමේදී රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ණය ලබාදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකුවලට දැනුම්දුන් අගමැතිවරයා, ණය ලබාදීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

සහල් මෝල් හිමියන් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබානොදීම මෙන්ම සහල් තොග සඟවා ගැනීම් ද සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

සහල් මෝල් හිමියන් විසින් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවට රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සහභාගි විය.