NEWS

අද තරගයට වනිදු අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයෙ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයේ දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංග අද තරගයට ක්‍රීඩා කිරීම අතිශයින්ම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය අධීක්ෂණය කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

වනිදු හසරංග ගේ ඉකිලි ප්‍රදේශයේ මස්පිඩු වල ආබාධයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව ලැබීමට නියමිත බවත් වනිඳුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව හෙට තරගය සඳහා වනිදු හසරංග විවේක ගැන්වීම වඩාත් සුදුසු බවයි ඔහුගේ අදහස් වූයේ.

ඔහුගේ මතුවී ඇති ආබාධයේ තත්ත්වය අනුව ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට හැකියාව තිබේද යන්න පිළිබඳව තවමත් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

ඊයේ තරගය අතරතුර ආබාධයට ලක්වූ වනිදු එම ආබාධ තත්ත්වය යටතේ ඔහුට නියමිත පන්දු ඕවර 9 ම නිමා කළ අතර එහිදී ඔහු ලකුණු 58 කට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම දඟපන්දු තුරුම්පුව වන වනිදු හසරංග තරගාවලියේ ඉදිරි තරග වලින් ඉවත් කෙරුණ හොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියට බරපතළ ලෙස දැනෙනු ඇති.

මේ අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ද මේ වන විට ආබාධයන්ට ලක්වී තිබෙනවා. ඒ මාකස් ස්ටොයිනිස් සහ ඇස්ටන් ආගර් දෙදෙනායි.

මෙම ආබාධ හේතුවෙන් ඔවුන් දෙදෙනාට ද ශ්‍රී ලංකා ඔස්ට්‍රෙලියා එක්දින තරගාවලියේ ඉදිරි තරග මග හැරෙනු ඇති බවයි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.