NEWS

බදු අඩු කිරීමට වඩා මෙරට ආර්ථිකයට පහර වැදුණු අංශ කිහිපයක් ගැන හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පෙන්වා දෙයි

2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමි වූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවත් ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සිමා හේතුවෙන් ඇති වූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික සංකෝචනය ඇතුළු හේතුන් බලපෑ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (08) දා  පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීය.

2019 වර්ෂයේ දෙසැම්බර් 04 වන දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පළමු කැබිනට් පත්‍රිකාවට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙලෙස තීරණ ගනු ලැබූ බවද ආටිගල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති  අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුද හිටපු මුදල් මණ්ඩල සාමාජිකයන්, වත්මන්  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් මෙම රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගීව සිටියහ.

කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී ඒ අදාළ විෂය සම්බන්ධයෙන් ඊට සමගාමීව පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු බවත් එහි සම්පුරණ වගකීම ඇත්තේ එම විෂය සම්බන්ධ නිලධාරීන්ට බවත් මුදල් කාරක සභා සමාජිකයන්ගේ අදහස වූ අතර යම් යම් නොවැලක්විය හැකි තත්ත්වයන් තිබුණු බව පිළිගත හැකි වුවද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ  නිසි අධ්‍යනයකින් පසුව මෙවන් තීරණ ගත යුතුව තිබු බවද ඔවුහු පැවසූහ.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කමිටු සමාජිකයින් තවදුරටත්  විමසා සිටියේ කොවිඩ් තත්ත්වය මතු වීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින්  ගනු ලැබූ මුල්‍යමය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී  මතු  විය හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන්  වශයෙන් කිසිවෙකු  හෝ  ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසා සිටියේ මෙවන් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන්පසුව එය කාරක සභා වෙතද යොමු කරනු ලබන බවත්ය.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් නැවතත් විමසා සිටියේ, ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන්  වශයෙන් දේශපාලන අධිකාරිය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ නිවැරදි නොවන අවස්ථාකදී, එවකට රජයේ වගකිවයුතු තනතුරු දැරූ නිලධාරීන් ලෙස  එය නිසි අයුරින් සිය ඉහළ බලධරයන්ට පෙන්වා  දීමට හා  දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ වත්මන් මහ බැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවත් දේශපාලඥයකු  සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනා ගත යුතු බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ දේශපාලඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හීදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවත්, එවන්  තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා දේශපාලඥයන් පමණක් වග නොකිය යුතු බවත්ය. වසර  දෙකක් යන තුරු රටේ  ආර්ථිකය  නිසි මාර්ගයේ ගමන් නොකළ බව මෙන්ම රටේ ආර්ථිකය බිඳ වැටෙනතුරුම තමන් දැනුවත් නොවූ බවත් දේශපාලන  අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි  පැවසීම  අනුමත කළ නොහැකි බවත් මෙහිදී වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම කාරකසභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පැවසුයේ තමන් මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල පිලිබඳ විවිධ අවස්ථාවන්වලදී වගකිව යුතු  නිලධාරීන්ට සහ එවකට දේශපාලන බලාධිකාරියට පැවසුවද කිසිවෙක් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි.

එහිදී  කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන මහතා පවසා සිටියේ උපයන විට ගෙවීමේ බදු ක්‍රමය කිසිඳු හේතුවක් නොමැතිව ඉවත් කිරීම මගින් විශාල ගැටළු රාශියක් ඇති වූ බවත් (PAYE Tax) මෙලෙස බදු කපා හැරීම් හේතුවෙන් 12.5 ව තිබු රාජ්‍ය ආදායම 8.7 අඩු වූ බවත් ය.

එසේම මහ බැංකුවේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවය වැඩි කර ගනිමින් නිසි සන්නිවේදනයක් සහිතව රටේ වැදගත් තීරණ ගැනීමේදී කටයුතු කළ යුතු බවද කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කළේය.

මේ අනුව කාරක සභා සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් මෙම සාකච්ඡාව නැවතත් එළඹෙන 17වන දින සිදු කරන බවයි.