NEWS

අනාරක්ෂිත ලිංගික හැසිරීම් එපා – පරික්ෂණ කට්ටල වල හිඟයක්

HIV පරික්ෂණ සඳහා භාවිත කරන පරීක්ෂණ පටිවල (ටෙස්ට් කිට්) උග්‍ර හිඟයක් පවතින බැවින් අනාරක්ෂිත ලිංගික ඇසුරට යොමු නොවන්නැයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි විශේෂ ඉල්ලීමක් කර සිටිනවා.

මෙම පරික්ෂණය ගැබිනි මව්වරුන්ට අනිවාර්යයෙන්ම සිදු කරන බැවින් වසරකට ඔවුන්ට තුන්ලක්ෂ පනස් දහසක පමණ පරික්ෂණ පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් අනෙකුත් රෝගීන් සඳහා ලක්ෂයකට අධික පටි සංඛ්‍යාවක් අවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.

ඇතැම් අවස්ථාවන් වලදී පළමු කාර්තුවේ පරික්ෂණය නොකර දෙවැනි කාර්තුවේ සිට පරික්ෂණය කරන මෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත දැනුම් දුන් බවයි වෛද්‍ය රසාංජලී සඳහන් කර සිටින්නේ.

මෙම පරික්ෂණයක් සඳහා රුපියල් තිස්පන්දහත් – හතළිස්දහත් අතර මුදලක් වැයවන බැවින් එම පරික්ෂණයන් පෞද්ගලික අංශයෙන් කර ගැනීමට නොහැකි බව ද මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් , ගෝලීය අරමුදලෙන් සහ යුනිසෙෆ් ආයතනයෙන් පරීක්ෂණ පටිවල ඉල්ලා ඇති බව ද එය ලැබීමට මාස තුන හතරක් ගතවනු ඇතැයි ද ඇය අවධාරණය කර සිටීයා.