NEWS

හෙට සිට ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය අතට – බලශක්ති ඇමති

ඉදිරි මාසය සඳහා ඉන්ධන ලබා ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඩොලර් මිලියන 500ක් ලබා දීමට එකඟවී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වන කොන්දේසි සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජුනි මාසයේදී රටේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා ඩොලර් මිලියන 535ක් අවශ්‍ය බවද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

රටේ දෛනික අවශ්‍යතාවය සඳහා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 5,400ක් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3,400ක් සැපයීම අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා. කෙසේ වුවත් මේ වන විට රටේ පවතින ඉන්ධන සංචිතයන් නිසා ඉන්ධන නිකුත් කිරිම සීමාවකින් යුතුව සිදුකළ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව මේ දක්වා පසුගිය දිනවල දෛනික ඉන්ධන සැපයීම ඩීසල් මෙට්‍ට්‍රික් ටොන් 3,200ක් සහ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 2,800ක සීමාවකින් යුතුව සිදුකළ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩීසල් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබුනේ ජුනි මස 16 වෙනිදා වීම නිසා මේ හේතුවෙන් ඉන්ධන සැපයීම සීමාවකින් යුතුව සිදුකිරීමට සිදුවූ බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වුවද ඉන්ධන නෞකා දෙකක් මෙම මස 09 වෙනිදා සහ 10 වෙනිදා ඉන්ධන නෞකාවන් දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඊට අවශ්‍ය මුදල් ගෙවීමට මහ බැංකුව කටයුතු සිදුකරන බවට දැනුම් දුන් බවයි කාංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් හෙට දිනයේ සිට නැවත වරක් දෛනික ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය අයුරින් සිදුකිරීමට තීරණය කළ බව පැවසූ අමාත්‍යවරයා, ඩීසල් මෙට්ට්‍රික් ටොන් 5,000ක් සහ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3,500ක් ලෙස ඉන්ධන නිකුත් කරන බව සඳහන් කළා.