NEWS

ඇමති ප්‍රසන්නට මිලියන 25ක දඩයක් සහ අත්හිටවූ සිර දඬුවම් නියම වෙයි

2015 වසරේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් අද අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබුවා.

ඒ අනුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 5 කට අත්හිටවූ අතර, විත්තිකරුට රුපියල් මිලියන 25 ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර සිටියා.

එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවද අමතරව මාස 9 ක සිර දඬුවම් නියම කෙරුණු අතර, මෙම සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හැර ලැබූවද අමතරව මාස 3ක සිර දඬුවමක් නියම කරන බවයි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය දීමට සහ හි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමට ගිහාන් මෙන්ඩිස් නම්බරේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අමාත්‍යවරයාගේ බිරිඳ සහ තවත් අයෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.