NEWS

PB ජයසුන්දරට රජ කාලේ දඬුවමක් යෝජනා කළ මන්ත්‍රී

රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු කීපයක් නිසා මේ රටට වූ විනාශය සියලු දෙනා දන්නා කරුණක් බව පැවසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අයි.එම්.එෆ්. එකට ගොස් අවශ්‍ය වැඩපිළිවෙල හදන ලෙස අයි.එම්.එෆ්. 2020 මාර්තු මස උපදෙස් දී ඇති බව ‘කෝප්’ කමිටුවේදී හෙළිවූ බව ද සඳහන් කර සිටියා.

ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ක්‍රියාකළ ආකාරය නිසා රට වැටුණු බවත් මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත්කිරීමට සූදානම් වන බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.