NEWS

බදු ඉහළ දමන ආකාරය මෙන්න

වැට් බද්ද 8% සිට 12% දක්වා, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා, පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 03 සිට රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීම ඇතුළු නව බදු ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් සිදුකිරිමට යෝජනා කිරීමට රජය සැලසුම් කර ඇත.

2019 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා.

කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය හා සඵල සේවා සඳහා බදු නිදහස් කිරීම්, බදු අඩු කිරීම් සහ බදු විරාම වැනි බදු සහන ගණනාවක් හඳුන්වා දෙමින්, එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීම සහ එකතු කළ අගය මත බද්දෙහි හා පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීම මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් විය.

මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමි විය.

කෙසේ වුවද, 2020/2021 වසරවල දී ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන ලද කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත ප්‍රවණතා යම් තාක් දුරකට හේතු වුවද, මෙම බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආදායම සැළකිය යුතු ලෙස අඩු වීමට හේතු වූ ප්‍රතිපත්ති ලෙස මේ වන විට සැළකෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙහි (ද.දේ.නි) ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම ආදායම් අනුපාතය මෙරටින් වාර්තා විය.

2019 වසරේ සියයට 12.7 ක් ව පැවති එම අනුපාතය, 2020 වසරේ දී සියයට 9.1 දක්වා අඩු වූ අතර, 2021 වසරේ දී එය සියයට 8.7 දක්වා තවදුරටත් අඩු විය.

මෙය නැගී එන වෙ‍ෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හි සමාන්‍යය වන සියයට 25 ට වඩා සැළකිය යුතු ලෙස අඩු අගයක් ගනී.

මෙම ලිහිල් බදු ක්‍රමවේදය, ආදායම් රැස් කිරීම සඳහා කොවිඩ්-19 වසංගතයෙන් ඇති වූ බලපෑම සමඟින් වසංගත සහන ක්‍රියාමාර්ග හේතුවෙන් 2019 වසරේ දී ද.දේ.නි යෙන් සියයට 9.6 ක් ව පැවති අයවැය හිඟය, 2020 වසරේ දී සියයට 11.1 දක්වා ද, 2021 වසරේ දී සියයට 12.2 දක්වා ද සැළකිය යුතු ලෙස පුළුල් විය.

එබැවින් 2019 වසරේ දී සියයට 86.9 ක් ව පැවති ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 2020 වසරේ දී සියයට 100.6 දක්වා ද, 2021 වසරේ දී සියයට 104.6 දක්වා ද වැඩි විය.

මෙම රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවය ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි.

පෙර නොවූ විරූ උද්ධමනකාරී පීඩනය, දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පවතින විශාල රාජ්‍ය මූල්‍ය සහ ගෙවුම් ශේෂ මූල්‍යයන අවශ්‍යතා, අධික ණය බර සහ තීරණාත්මක ලෙස පහළ මට්ටමක පවතින සංචිත ප්‍රමාණය සහ විනිමය අනුපාතය කෙරෙහි එල්ල වන පීඩනයන් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්ම අවදානම් සහගත මට්ටමක පවතී.

විදේශ විනිමය හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය මෙන්ම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම හේතුවෙන් ව්‍යාපාරික සහ ආයෝජක විශ්වාසය නැති වීම ආර්ථීක වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇත.

ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළ ප්‍රවේශය අහිමි වීම සහ වෙනත් විදේශ විනිමය ගලා ඒම් සාපේක්ෂව අඩු වීම හේතුවෙන් රාජ්‍ය අයවැය හිඟය මූල්‍යයනය සම්බන්ධයෙන් සැළකිය යුතු ගැටළු රාශියක් නිර්මාණය වී තිබේ.

2020 සහ 2021 වසරවල දී, විදේශ මූලාශ්‍ර සඳහා ශුද්ධ ණය ආපසු ගෙවීමක් වාර්තා වන බැවින් සමස්ත අයවැය හිඟයම දේශීය මූලාශ්‍රවලින් මූල්‍යයනය කෙරිණ.

බැංකු නොවන දේශීය මූලාශ්‍ර හරහා ප්‍රමාණවත් ශුද්ධ මූල්‍යයනයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, අයවැය හිඟය මූල්‍යයනය කරන ලද දේශීය මූලාශ්‍ර අතුරින් බහුතරයක් බැංකු මූලාශ්‍රවලින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලදී.

අඛණ්ඩව ලබා ගන්නා ලද සැළකිය යුතු මහ බැංකු මුදල් මූල්‍යයනය ආර්ථිකයට විශේෂයෙන්ම උද්ධමනයට සහ විනිමය අනුපාතයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන ලදී.

පොළී ගෙවීම්, වැටුප් හා වේතන, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා යනාදී වියදම්වල සැළකිය යුතු කොටසක් ඇතුළුව රාජ්‍ය වියදම් දැරිමට මහා භාණ්ඩාගාරයට වැඩි වශයෙන් මහ බැංකු මුදල් මූල්‍යයනය ලබා ගැනීමට සිදුවන අතිශය තීරණාත්මක මට්ටමට වර්තමානයේ දී පත්ව ඇත.
මෙය කිසිසේත්ම තිරසාර තත්ත්වයක් නොවේ.

එබැවින් සාර්ව ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම පිණිස මෙරට මධ්‍ය කාලීන මෙන්ම දීර්ඝ කාලීන ආර්ථික වර්ධන අභිමතාර්ථ සඳහා සහාය දැක්වීමට 2022 වසරේ දී සහ ඉන් ඔබ්බට ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් තාර්කීකරණය කිරීමේ ක්‍රියාමාර්ග මඟින් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ඉහත පසුබිම යටතේ, පහත සඳහන් බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් මෙන්ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.

බදු ප්‍රතිසංස්කරණ යෝජනා පහතින් අමුණා ඇත.