NEWS

ඉන්දීය අගමැතිගෙන් ආරක්ෂාව ඉල්ලන ලංකාවේ මන්ත්‍රී

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක උපුටා දක්වමින් “ලංකාදීප” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කර ඇත්තේ.

මේ තත්වය නිසා බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ විවිධ ස්ථානවල සැඟවී බව සඳහන් කළ දිසානායක මහතා විසි එක් වැනි සංශෝධනයට සහය නොදුනහොත් ගමට පැමිණීමට නොහැකි වේවි යැයි ඕමල්පේ සෝභිත නාහිමියන් කළ ප්‍රකාශයෙන් උන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කර ඇතැයිද ප්‍රකාශ කර තිබෙනවා..

දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ කපුටු කාක් කියා ගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බවද විමලවීර දිසානායක පවසා ඇත්තේ.

ඒ සියලු ප්‍රහාර යට සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ බවයි එම වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.