NEWS

නිවස අසල වෙළෙදසැලකට ගිය 09 හැවිරිදි දැරියක් අතුරුදන්

නව හැවිරිදි දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කර සිටිනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අටුලුගම ප්‍රදේශයේ විදුහලක 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නැමැති දැරියයි.

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවසේ සිට මීටර් දෙසිය පනහක් පමණ ඈතින් වූ වෙළද සැලකට ඊයේ උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට පැමිණියේ නැතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බව පොලිසිය කියයි.

දැරිය පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට ඒ බව පවසා දැරිය අවට නිවාස වල ද සොයා ඇති අතර නොමැතිවීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කළ බව බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මිය පැවසුවාය.

පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සි රාජපක්ෂ,ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක පි.වි.ඒ හේමමාලි ,පොලිස් පරීක්ෂක වරුන් වන මිහිලාර් අනුර, කාන්තා පොලිස් කොස්තාපල් චතුරිකා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.