“බාල ඖෂධ ගෙන්වන උන් උස් පුටුවල” – හෙදියකගෙන් සංවේදී සටහනක්

පසුගිය දිනවල සෞඛ්‍ය සේවයේ පැන නැඟුණු ගැටලුකාරී තත්වයත් සමඟ වෛද්‍ය සහ හෙද සේවයට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.

ඒ, නොසැලකිල්ල මත ජීවිත ගණනාවක් අනතුරේ හෙලන බව පවසමින්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව රජයේ රෝහලක සේවයේ නියුතු හෙදියක විසින් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

“රාත්‍රී සේවා මුරය ඇරඹී හෝරා 6 ක්‌…..
වෙනදාට යුද පිටියක වෙස්ගත් වාට්ටුව….
පුදුමයකි…. කලාතුරකින් ඇදෙන ට්‍රොලියක, Wheel chair එකක හඬ….
තැනින් තැන කසු කුසුව…
බොහෝ ජංගම දුරකථනවලින් නැවත නැවත ඇසෙන එකම පුවත….
ළඟට යන විට නතර වෙන අරුම පුදුම කතාබහ!
නුපුරුදු හැඟුම් වලින් තෙරපෙන මගේ සිතුවිලි…. නෑවිත් බැරි කමට පැමිණෙන casuality admission…

“කරන්නම දෙයක් නැති තැන ආවේ මිස්…
දැන් ඉස්පිරිතාලෙ බෙහෙත් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ නේද මිස්?
කියන තරම්ම ඔය බෙහෙත් විසද මිස් ඇඟට? මිනියක් මැරෙන්න තරම්!
ගෙවල් වල මිනිස්සු ඉස්පිරිතාලෙ පැත්තටවත් එන්න කැමති නෑ මිස් මගේ තනි තීරණයට අම්මව ගෙනාවෙ….
ගෙදර මලත් මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න එපා කිව්වා මිස් අන්තිම මොහොතෙත්…
අනේ මන්දා! මේවට ගෙනාවා වගේ නෙමෙයි කොහොම ගෙදර යන්න වෙයිද මන්දා….”

දහසක් ගැටළු හමුවේ ඇසෙන නොරිස්සුම් වදන්..
ඊතලයක් මැදකණ පසාරු කරන් ගිය සෙයකි,
අවැසිය, පිළිතුරු සැපයීමට එකින් එක….
නමුදු, මේ ඊට අවස්ථාව නොවන බව දනිමි….

Poisoning, drug overdose කෙටියෙන්ම කිවහොත් දිවි තොර කර ගැනීමට තමන් විසින්ම තැත්කළ රෝගීන්ගේ දිවි රැක දෙන අපි,
සති 28-32 යන්තම් පණ යදින හදවත් වලට පණ ගැහෙන්නට උරදෙන අපි,
තිඹිරිගෙයි හැරදමා යන මල් කැකුළු පුබුදු කරවන අපි,
වසංගතයන් හමුවේ කිසිවකුත් ලං නොවන,
දැන දැනත් මරු වසඟයට ගොස් සුවය සදපු අපි,
ඕජස් ගලන,පණුවන් වැටෙන තුවාලවලට සැරහුම් දමන, දින ගණනක්‌ අහර නොලැබ ගෙවල් වලින් අතැර දාපු ඔවුන්ට NG tube වලින් දියර පොවන අපි,
නික්මෙන්න තැත් කරන හදවත් වලට CPR, Adrenaline වලින් පණ පොවන අපි,
එලෙස සුවවී දෙපයින් වාරු ගෙන නික්මී යන අනුන්ගේ ජීවිත වලින් අමිල සතුටක් ලබන අපි,
එකී මෙකී නොකී කතාවල වගඋත්තරකරුවන් වන අපි,

ඉතින්…..
නුඹ තවමත් සිතනවාද??
සුවයක් බලාපොරොත්තුවෙන් පැමිණි ඇයට මියැදෙන්න බෙහෙත් අපි විදපු වග….??
එලෙස මියැදෙන්නට හැර කිසිවක් නොකරම සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය නෙතු පියන් වසාගෙන සිටි බව….??
තීරණය නුඹ සතුයි….
පෙරදා සුව විරුවන්….
අද මිනීමරුවන් වූ අරුමය!

මතක තබා ගන්න!!!
Allergic reactions of drugs!
ලබා දෙනු ලබන ඕනෑම ඖෂධයකට…
වෙනදා ලබාගත් සුපුරුදු ඖෂධයකට…
දිගින් දිගටම ලබා දෙන ඖෂධයකට අතරමඟදී වුවද ඕනෑම මොහොතක දී ඇති විය හැකි ය….
නුඹ ලබාගන්නා පැනඩෝල් පෙත්තකට වුවද මෙය සිදුවිය හැකිය….
සුළු කැසීමක සිට හුස්ම ගැනීමේ අපහසුතාවය,හදවත නතර වී මරණය පවා සිදුවිය හැකිය… (Anaphylactic shock)

නෙත් හැර බලව…!
ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වන උන් උස් පුටුවල වැජඹෙන අසිරිය…
පීඩිත පන්තියේ නුඹත් මමත් විරසක වෙන අරුමය….!

නෙතඟ නළියන කඳුළු කැටවලට වැටෙන්නට නොදී මහත් ආයාසයෙන් දරා ගත්තද,
පීඩිත පන්තියේ ම රැඳෙමින් මේ සුවහසක් පීඩිතයින්ට ම හෙටත් සේවය කළ යුතුව ඇත….
දිගු සුසුමක අගින්,
මැලවුණු ස්වරයෙන් මම
මටම කියා ගත්තෙමි….!!”

– D. පෙරේරා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button