අනුර කුමාරට බිත්තර ප්‍ර’හාරයක්

සංවිධානාත්මක කල්ලියක් ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සමුළුවේ දී ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායකට බිත්තර සහ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඊයේ (30 වැනිදා) ගම්පහ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක උත්සව භූමියට පැමිණෙනවාත් සමගම ඉදිරිපස රැස්ව සිටි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මන්ත්‍රිවරයා පැමිණි රථයට සහ තවත් රථ කිහිපයකට බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත. මෙම ප්‍රහාරය වැළැක්වීමට රැස්ව සිටි පිරිස් උත්සාහ ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයකුට ද තුවාල සිදුවී තිබේ.

ප්‍රහාරය එල්ල කළ පිරිස එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර පිරිසෙන් දෙදෙනෙකු උත්සව ශාලා පරිශ්‍රයේ රැඳී සිටීයදී ආධාරකරුවන් විසින් අල්ලාගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ අනුදැනුම මත මෙම ක්‍රියාව සිදුකළ බව ඔවුන් රැස්ව සිටි පිරිස ඉදිරියේ පාපොච්චාරණය කර ඇත. අල්ලා ගත් දෙදෙනා නිට්ටඹුව පොලිසියට භාර දී ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ නිට්ටඹුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.