පා පැදියෙන් වැඩට ආවොත් වැඩි වැඩියෙන් ප්‍රතිලාභ

වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පරිසර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන වෙත පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභයක් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීම​ට නියමිත බව පරිසර ඇමති මහින්ද අමරවීර පැවැසීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෙසු ආයතන සඳහාද මෙම වැඩසටහන හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීවේය.

වාහන තදබදය පවතින අවස්ථාවල මාර්ගයට එක්වන වාහන මගින් රජයට කිලෝමීටරයක් සඳහා වන පාඩුව රුපියල් 103යි ශත 56ක් බවත් පැපැදි භාවිතයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 236.48ක ඉතිරියක් සිදුවනවා. එමගින් රජයට රුපියල් 339.98ක ලාභයක්ද ලැබෙන බවත් ඇමැතිවරයා කීවේය.

විද්වත් මණ්ඩලයක් කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීමෙන් බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමට හැකි බවත් ඒ සඳහා ජනතාව ප්‍රවර්ධනය කිරීම පරිසර හිතකාමී ප්‍රවේශයක් බවත් ඇමතිවරයා කීවේය.

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ ඇමැති මණ්ඩල පත්‍රිකාවක්ද සකස් කර තිබෙන අතර පැපැදි සඳහා මාර්ගයේ වෙනම මංතීරුවක් වෙන්කිරීමට යෝජනා කර තිබෙන බවත් කී ඇමැතිවරයා ඉන්ධන භාවිතය නිසා පරිසරයට වන හානිය අවම කරලීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනයට ප්‍රමුඛත්වය ලබාදීම පිණිස ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙන බවද කීවේය.

Ride for life නමැති සංවිධානය විසින් ප්‍රවාහනයේදී පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සුව දිවියට පාපැදිය නමින් වැඩසටහනක් ඊයේ (26 වැනිදා) පැවැත්වූ අතර එම වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.