සිරීපාදේ වන්දනාවේ ගිය අයගෙන් ටොන් 30 ක කුණු කන්දක්

සිරිපා වන්දනා සමය ආරම්භ වී මසකට ආසන්න කාලයක් තුළදී වන්දනාකරුවන් විසින් සමනල කන්ද අවට දමාගිය අපද්‍රව්‍ය ටොන් 30ක් පමණ එකතු වූ බව මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ගෝවින්දන් සෙම්බගවල්ලි ‘අරුණ’ට පැවසුවාය.

දෛනිකව අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 950කට ආසන්න ප්‍රමාණයක් එකතු වන බව හා ඒ අතරින් බොහෝමයක් ඉවත ලූ ආහාර ද්‍රව්‍ය සහ කඩදාසි වන අතර ප්ලාස්ටික්, බෝතල්, පොලිතීන් කවර සහ මුව ආවරණ කිලෝ ග්‍රෑම් 250ක් දෛනිකව එකතු වන බවද සභාපතිවරිය සඳහන් කළාය.

ශ්‍රී පාදස්ථානයට ගමන් කළ හැකි මාර්ග අතරින් වැඩි වශයෙන් අපද්‍රව්‍ය එකතු වන්නේ හැටන්, නල්ලතන්නිය මාර්ගයේ බවද ගෝවින්දන් සෙම්බගවල්ලි කීවාය. කළු ගඟේ පහළ කොටස්වල දිනපතා විශාල අපද්‍රව්‍ය තොගයක් රැඳී අපවිත්‍ර වන බව හා සෑම අපද්‍රව්‍යයක්ම නිසි පරිදි බැහැර කිරීමට කසළ බඳුන් ප්‍රමාණවත් පරිදි තබා තිබියදී මෙලෙස සෑමතැනම අපද්‍රව්‍ය දමා යන අතර කසළ ඉවත් කිරීමට පරිසර සංවිධාන සාමාජිකයන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් කිහිප දෙනකු හැරුණුකොට මස්කෙළිය ප්‍රාදේශීය සභාවෙන් අනුයුක්ත කර ඇති සේවකයන් ප්‍රමාණය 17ක් පමණක් බවද සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය.

එරංදි කෞශල්‍යා