NEWS

විදුලි ඇමති නොකපා ඉන්න හදද්දි තෙල් ඇමති කපන්නම හදයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිනකට පැය එකහමාරක් හෝ විදුලිය විසන්ධි වීමක් සිදුකළ යුතු බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පැවසුවේය.

දැනට පවතින සීමිත විදේශ විනිමය අවසන් වනතෙක්ම පැය විසි හතරෙහිම අඛණ්ඩව විදුලිය ලබාදීම සිදුකළහොත් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාවටද අපහසු විය හැකි බව ඇමැතිවරයා කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙසක් ලෙස ලබාදිය හැක්කේ දැන් ජනතාව පැය එකහමාරකට හෝ අපහසුතාවට පත්කළ වුවද විදුලිය කප්පාදු කිරීමට කටයුතු නොකළහොත් තවත් නොබෝ දිනකින් ඔවුන් මීටත් වඩා විශාල අපහසුතාවකට පත්වනු ඇති බවයි. එම නිසා අවස්ථානුකුලව කටයුතු කරන ලෙසට දැන්විය යුතු යැයි බලශක්ති ඇමැතිවරයා පවසා සිටියේය.

බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (19 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙලෙස පැවසුවේය.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ එක් දිනකට පැය එකහමාරක පමණ කාලයකට විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් වැසි කාලය එනතුරු විශාල විදුලි අර්බුදයකට මුහණ දීමට සිදුනොවන බවය. ප්‍රවාහනයට තිබෙන ඉන්ධන විදුලි නිෂ්පාදනයට ලබාදුනහොත් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව ඇමැතිවරයා පැවසුවේය. විදුලි කප්පාදුවට වඩා බරපතළම ව්‍යවසනය සිදුවන්නේ එවිට බව හෙතෙම පැවසුවේය.

මේ අතර එළඹෙන 25 වැනිදා දක්වා කිසිදු විදුලි විසන්ධි කිරීමක් නොකිරීමට තමන් හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ පවසයි. ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය .

‘‘විදුලිය නිෂ්පාදනය කරන ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක ජෙනරේටරයක් අක්‍රීය වෙලා තියෙනවා. එය යථා තත්ත්වයට පත් කිරීම ලබන 25 වැනිදා පමණ වන විට හැකි වෙනවා. දැනට දිනකට දැවි තෙල් ටොන් 1500ක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් මේ වෙනකොට තෙල් සංස්ථාව අර්බුදයකට පත්ව තියෙනවා තෙල් නොමැති වීම නිසා. 25 වැනිදාට පසුවත් තෙල් නොමැති වුණත් අපිට විදුලිය විසන්ධි කිරීමකින් තොරව ලබා දෙන්න පුළුවන් වෙනවා. ඉන්ධන තොග තිබෙනවා නම් ලබාගැනීම සඳහා අයිඕසී ප්‍රධාන සමාගමත් සමගත් සාකච්ඡා කරන්න කියලා මුදල් අමාත්‍යාංශයට අපි ලිපියක්ද ඉදිරිපත් කළා. විදුලිබල මණ්ඩලය ආරම්භ කරපු දවසේ සිට තෙල් ලබා දෙන්නේ තෙල් සංස්ථාව. නැතුව විදුලිබල මණ්ඩලය කිසිදු දවසක තෙල් ආනයනය කරලා නෑ.”