NEWS

අභියෝග ජය ගැනීමට අවශ්‍ය නායකත්වය ලබා දීමට මම සූදානම්

මෙම අසීරු අවස්ථාවේ පවතින අභියෝග ජය ගැනීමට අවශ්‍ය නායකත්වය දීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ඊයේ (18 වැනිදා) විවෘත කර ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

‘‘අප මේ රටේ වත්මන් භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා සියලුදෙනාම අනාගත පරම්පරාවට වගකිව යුතුයි’’ යනුවෙන් ද කී ජනාධිපතිවරයා රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලුදෙනා එක්වන්නැයි ද ඉල්ලීමක් කර සිටියේය.

පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය උවදුර මුළුමනින් තුරන් කිරීමට ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවන බව පැවසූ ජනාධිපතිවරයා රටේ බරපතළ ලෙස ව්‍යාප්තව තිබූ පාතාලය මර්දනයට පසුගිය වසර දෙක ඇතුළත රජය ක්‍රියා කළ බවද කියා සිටියේය.

ජාතිවාදය තමන් ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීම බවත් කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ මූලික වගකීම ලෙස සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව සියලු ජනතාවට පහසුකම් සැපයීම බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන රටක්. මගේ පාලන කාලයේ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දුන්නේ නැහැ.

රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩිකිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රටේ තුළ ආරම්භ කිරීමට අවසර දිය යුතු ද යන්න කෙරෙහි පුළුල් සංවාදයකට පාර්ලිමේන්තුවට ආරාධනා කරනවා යැයිද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.