NEWS

අවුරුද්දක් තිස්සේ ලියුම් හැංගූ පියන් ගෙදර

වසරකට අධික කාලයක් තිස්සේ බෙදීමට නියමිතව තිබූ ලිපි සන්තකයේ තබාගෙන සිටි ලියුම් බෙදන්නකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

එලෙස සන්තකයේ තබාගෙන සිටි ලියුම් අතර රාජකාරි, පාසල් ළමුන්ගේ විභාගවලට සම්බන්ධ ලිපි,සහ මූල්‍ය ආයතනවල ලිපි තිබූ බවත් ඇතැම් ලිපි විනාශ වී තිබුණු බව මාතලේ ප්‍රාදේශීය තැපල් අධිකාරි අනුර රත්නායක පැවසීය.

උකුවෙල තැපැල් කාර්යාලයට අනියුක්තව සේවය කරන මෙම ලියුම් බෙදන්නා බලකඩුව, පංසලතැන්න යන වතුවල ලියුම් වසරකට වැඩි කාලයක් මෙලෙස බෙදීම සිදු කර නොමැති බවද පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි තැපැල් අධිකාරිවරයා සඳහන් කළේය. මෙම ලියුම් බෙදන්නා භාරයට ගත් ලියුම් තොගය බලකඩුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසක තිබී සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අදාළ ලියුම් බෙදන්නාගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය.