GOSSIP

බෝට්ටුවේ ඇන්කර් එක කිඹුලගේ ඇඟේ පැටලෙව්වා…වෙන්න ඕන ටික වෙලා ඉවරයි

මාතර ගඟේ ඉන්නා කිඹුල්ලු ගැන අපේ පැරණි කවිවලින් අසන්නට ලැබුණත් මුහුදේ ජීවත්වන කිඹුල්ලු ගැන අසන්නට ලැබෙන තොරතුරු ඉතාමත් අල්පය. නමුත් මේ වසර ආරම්භයේදීම දෙහිවල මුහුදු කලාපයෙන් අසන්නට ලැබෙන්නේ කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව මියගිය කිමිදුම්කරුවකු පිළිබඳවය.

දෙහිවල මුහුදු කලාපයේ නිරතුරු කිමිදුම් කටයුතුවල නිරතවන කිමිදුම්කරුවකු මෙලෙස කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇත. ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඊයේ (03 වැනිදා) පෙරවරුවේදී ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. රත්මලාන, කල්දේමුල්ල සුනාමි ධීවර ගම්මානයේ පදිංචි 50 හැවිරිදි අයකු මෙලෙස මියගොස් ඇත.

මෙම සිද්ධියවී ඇත්තේ දෙහිවල දුම්රියපොළෙ පිටුපසින් වූ ගොඩගල අසල මුහුදු තීරයේදීය. ගැඹුරු මුහුදු කලාපයේ කිමිදීමට ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා මෙලෙස කිඹුලාගේ ග්‍රහණයට ලක්ව තිබේ.

ගැඹුරු මුහුදේදී මෙවැනි කිඹුල් ප්‍රහාරයක් පිළිබඳව වාර්තාවීම ඉතා විරල සිද්ධියක් බව වනජීවි නිලධාරිහු පවසති. කිමිදුම්කරුට ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගැට කිඹුලෙකි. මෙම කිඹුල් විශේෂය ඉංග්‍රීසියෙන් හදුන්වනු ලබන්නේ salt water crocodile යන නමිනි. හොඳින් වැඩුණු ගැට කිඹුලෙකු අඩි විස්සක් පමණ දිගැතිය. මෙම ගැට කිඹුලා කොළඹ නගරය ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතිවල නිරතුරු දක්නට ලැබෙන බවත්, කිඹුලා එක් ඇළ මාර්ගයකින් තවත් ඇළ මාර්ගයකට මාරු වන්නේ මුහුද හරහා බවත් පරිසරවේදීහු පවසති.

“පර්‌යේෂකයන් නොදන්නවා වුණාට මේ කිඹුල් විශේෂය මුහුදේ ගමන් කරනවා. මේ කිඹුලා මීට පෙරදී හැව්ලොක් ටවුමේ නිවාස සංකීර්ණ අසල ඇළ මාර්ගවලත් නිරීක්ෂණය වුණා. මෙම කිඹුලා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිටින බව මීට පෙර අවස්ථා හය හතකදී පමණ වාර්තා වෙලා තියෙනවා. කිඹුලා කොරල් පරයක් ඇතුළත ඉද්දී එක්කෝ මෙම පුද්ගලයා සමහරවිට ඒ කොරල් පරය ආසන්නයටම යන්න ඇති. මේ කිඹුල් විශේෂය සාමාන්‍යයෙන් මිනිසුන් දඩයම් කරනවා.

කිඹුල් ප්‍රහාරවලට ලක්ව වසරකට පුද්ගලයන් දහයක්වත් මිය යන්නේ නැහැ. රාත්‍රි කාලයේදී මෙම කිඹුල් විශේෂය දඩයම් කටයුතුවල නිරත වන බව අලුතින් සොයාගෙන තිබෙනවා. මෙම කිඹුලා මුහුදේම ජීවත් වෙනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන් වැසි ජලයත් සමග මාළු ඇළ මාර්ගවලට එද්දී මේ කිඹුලා මුහුදට ගමන් කරන අවස්ථාත් තිබෙනවා. සමහරවිට මේ ගැට කිඹුලා කොරල් පරය ආශ්‍රිතව ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්.” යැයි පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේය. මෙම කිඹුලා ඊයේ (03 වැනිදා) සවස් කාලයේදී මුහුදු කලාපය ඔස්සේ පානදුර දෙසට ගමන් කරමින් සිටින අයුරු වනජීවි නිලධාරීන් නිරීක්ෂණය කර තිබුණි.

“කොළඹ ජලය මුහුදට ගලා බසින ඇළ මාර්ගවලින් මේ කිඹුලා මුහුදට පැමිණිය හැකියි. වැල්ලවත්ත ඇළ, බොල්ගොඩ, ලුණාව ආදී ඕනෑම ඇළක් ඔස්සේ මෙම කිඹුලාට මුහුදට පැමිණීමේ හැකියාව තිබෙනවා. සමහරවිට මේ කිඹුලා මුහුදේ ජීවත් වෙමින් සිටියදී ඇළ මාර්ගවලටත් ගමන් කරනවා.” යැයි වනජීවි නිලධාරියෙක් පැවසුවේය.

මෙම කිඹුලා ඇල්ලීමට දෙහිවල මුහුදු තීරයේ මෙහෙයුමක්ද ඊයේ අරඹා තිබුණි. කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අල්ලන්ගේ සමූපකාර සමිතියේ සභාපති රංජිත් සිල්වා මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීය.

”මට කෝල් එකක් ආවා කිමිඳුම්කරුවෙක් කිඹුලෙක් අල්ලලා කියලා. ඒ වෙලාවේම කිමිඳුම්කරුවන් පිරිසක් ගොඩට ආවා. මම තවත් හතර දෙනෙක් එක්ක බෝට්ටුවකට නැගලා මුහුදට ආවා. මම දැක්කා කිඹුලා ඹහු අල්ලාගෙන යට යනවා. ආපසු උඩට එනවා. මම බෝට්ටුවේ ඇන්කර් එක කිඹුලාගේ ඇඟේ පැටලෙන්න දැම්මා. ඊට පස්සේ බෝට්ටුව වේගයෙන් ඉස්සරහට ගත්තා. කිඹුලා බොඩි එක අතහැරියා. බොඩි එක අරගෙන ගොඩ බිමට ආවා. කිඹුලා ඔහුගේ උරහිසෙන් අල්ලාගෙන තිබුණේ.”

කිඹුල් ප්‍රහාරයෙන් මියගිය අයගේ බිරිඳ කියා සිටියේ දිනපතාම පෙරවරු 6ට පමණ සැමියා මුහුදේ පිහිනුම් සඳහා යන බවය. එලෙස ගොස් මාළු අල්ලාගෙන නිවසට පැමිණෙන බව ඇය පවසන්නීය. කිඹුලන් දෙදෙනෙකු මෙම මුහුදු ප්‍රදේශයේ සැරිසරන බව මියගිය පුද්ගලයාගේ ඥාතීහු පවසති. මෙම කිඹුලන් ඇල්ලීමට වහාම වනජීවි නිලධාරීන් කටයුතු කලයුතු බවත් නැතහොත් විසිතුරු මසුන් ඇල්ලීමට දියඹට යන කිමිඳුම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක්වන බවත් විසිතුරු මසුන් අල්ලන්ගේ සමූපකාර සමිතියේ සභාපතිවරයා කියයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරෙන බවත් මෙම මරණය සිදුවී ඇත්තේ පොරබැදීම නිසා ජලයේ ගිලීයාම නිසාදැයි සැකයක් පවතින බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේය. එම මළ සිරුර සම්බන්ධව පී. සී. ආර්. පරීක්ෂණයක්ද පැවැත්වීමට ඊයේ කටයුතු යොදා තිබුණි. දකුණු ආසියානු කලාපය භාර කිඹුල් විශේෂඥ කමිටුවේ සභාපති ආචාර්ය ඇනස්ලම්ද සිල්වා කියා සිටියේ වැල්ලවත්ත ඇළ ආශ්‍රිතව ගැට කිඹුලන් සිටින බවත් මෙම කිඹුල්ලු පානදුර ඇළට සංක්‍රමණය වන්නේ මුහුද හරහා බවය. කිඹුලාගේ ගමන් මාර්ගයේ කිසිවෙකු සිටියහොත් උගේ ග්‍රහණයට හසුවන බවද ඔහු කියන්නේය. මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ පළමුවරට යැයිද ඔහු කීවේය.

උපුටා ගැනීම – අරුණ