NEWS

දෙවෙනි පරපුරත් අරගෙන විජේවීරගේ පුතා පූර්ණ කාලීන දේශපාලනයට

තමා රුසියාවේ සිට මෙරටට පැමිණ පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වීමට බලාපොරොත්තු වන බවත්, දෙවන පරපුර සංවිධානය නිර්මාණය කර එය දේශපාලන ව්‍යාපාරයක් ලෙස පිහිටුවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පවසයි.

රුසියාවේ සිට දින කිහිපයක කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින උවිඳු, කුරුවිට පුස්සැල්ල ප්‍රදේශයේදී ඉකුත් 31 වැනිදා පැවැති සාකච්ඡාවකදී මේ බව කීවේය.

හම්බන්තොට වරාය,ත්‍රිකුණාමලය තෙල් ටැංකි දැන් අපට අයත් නැහැ රත්තරන් බිත්තර දමන කිකිළියන් බඳු මෙම සම්පත් නැවත අත්පත් කරගත යුතුයි. බලවත් රටවල් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙරට සම්පත් අත්පත් කරගෙන තිබෙනවා. මෙය සිදුව තිබෙන්නේ මේ රටේ දීන පාලකයන්ගේ හා අදූරදර්ශී දේශපාලකයන්ගේ මෝඩ තීරණ නිසා යැයි ඔහු එහිදී පැවසුවේය.

මේ වන විට තමා රුසියාවේ ආචාර්ය උපාධියේ අවසන් මාස කිහිපය ගත කරමින් සිටින බවත්, එය අවසන් වූ වහාම මෙරටට පැමිණ පූර්ණ කාලීන දේශපාලනයේ නියැළීමට බලාපොරොත්තු වන බවත්, ඊට හේතුව මේ රට දවසින් දවස ලෝකයේ අන්ත දුගී තත්ත්වයට යාම පිළිබඳව ඇතිව තිබෙන කලකිරීම නිසා බවත් ඔහු කියයි.

මෙරට පරිවර්තනයක් උදෙසා 1971 විශාල සමාජ අරගලයක් සිදුවූ අතර එම අරගලයට මුල් වු අයගෙන් පසු දෙවැනි පරම්පරාවේ අයගෙන් දෙවැනි පරපුර සංවිධානය නිර්මාණය වූ බව කියයි. දැනටමත් මෙම සංවිධානයට විවිධ බුද්ධිමතුන් ආගමික නායකයන්, තරුණයන් ඇතුළු විශාල ජනතාවක් ප්‍රසාදය පළකරමින් සිටින බව හෙතෙම කීවේය.

දෙවන පරපුර කිසිම පක්ෂයකට එකතු නොවී ජාතික චින්තනයක් මේ රටට ඉදිරිපත් කරන බවත් ජාතික දැක්මක් මේ රටේ පුරවැසියන්ට ලබාදිය යුතු බවත් උවිඳු වැඩිදුරටත් පැවසීය.