GOSSIP

PB ට මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශක තනතුර ?

යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නා සේ ජනපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ රටේ ආර්ථිකය වැටී තිබියදීය. ජනපති ලේකම් වුවත් ඉකුත් කාලේ රටේ ආර්ථිකයද මෙහෙයවූයේ ඔහු බව රහසක් නොවේ. මින් පෙර සිටි ජනපති ලේකම්වරු නොකරපු ඒ වැඩේ ඔහු කළේ ඔහු බොහෝ කාලයක් රාජකාරි කළේ මූල්‍ය ක්ෂේත්‍රයේ වන බැවිනි. එහෙත් ඉකුත් කාලේ රටේ ආර්ථිකය පස්සට ගියා මිසක් ඉස්සරහට ආවේ නැත.

පී. බී. ජයසුන්දර මෙරට ආර්ථිකය හෙහෙයවීම ආරම්භ කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජ්‍ය පාලන සමයේදීය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ යුගය, මහින්ද රාජපක්ෂ යුගය, ගෝඨාභය රාජපක්ෂ යුගය දක්වා විවිධ තනතුරු හොබවමින් රාජ්‍ය පාලනයේ මෙන්ම ආර්ථික පාලනයේත් කටයුතු කිරීමට ඔහු සමත් වූයේය. වර්තමානයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය සේවාවෙන්ද විශ්‍රාම යෑමෙන් අනතුරුවය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2015 වර්ෂයට පෙර කටයුතු කරන විට වත්මන් අමාත්‍ය විමල් වීරවංශ ඔහුගේ ක්‍රියාකාරිත්වය දැඩිව විවේචනය කළේ ය. ‘‘ආර්ථික ඝාතකයෙක්’’ ලෙස පී. බී.ට අන්වර්ථ නමක්ද ආරෝපණය කළේ ඇමැති විමල් වීරවංශය. එවැනි අයකු යළි ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් පළ විය. එබැවින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම ආණ්ඩුව බලයට පත් කිරීමට මූලිකත්වය ගත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ඇතුළු බොහෝ දෙනකු කීවේ පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එම සටනේ පෙරමුණ ගත්තේ ඇහැලියගොඩ පැවැති මහජන මන්ත්‍රණ සභාවේදීය. ‘‘පුංචි බණ්ඩා න්‍යායෙන් රට ගොඩගන්න බැහැ’‘ ඔහු කීවේය. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනද, ජනාධිපති ලේකම්වරයා දැඩි ලෙස විවේචනය කළේ අයවැය විවාදයේදීය. මෙම විවේචන දසතින් ඇසීමත් සමග මැති ඇමැතිවරු ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කළෝය. එහි පෙරමුණ ගත්තේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂය. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී.බී. ජයසුන්දරට දොස් කීවේය. ඉන්පසු ජනාධිපති ලේකම්වරයා සිය හිතවත් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර තිබුණේ තමන් කඩිනමින් තනතුරෙන් ඉවත්වන බවයි. එහෙත් දෙසැම්බර් අවසානය දක්වා ඔහු තනතුරෙන් ඉවත් නොවන අයුරු දක්නට ලැබුණි.

ජනාධිපති ලේකම්වරයා ඉවත්වන බවට වූ පළමු ප්‍රවෘත්තිය වාර්තා වූයේ පසුගිය සඳුදා (27දා) වැනිදාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම සතියේදී දැඩි අවධානය යොමු කළේ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්වවලින් නැගෙන බරපතළ චෝදනා පිළිබඳවය. මෙම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිටියේ අසතුටිනි. විශේෂයෙන්ම ආණ්ඩුවේ ලොකු ලොකු වගකීම් දරන කැබිනට් මණ්ඩල සාමාජිකයන් පවා එළිපිටම ලේකම්වරයා විවේචනය කරමින් අරඹා තිබූ අභ්‍යන්තර අරගලවලට ජනාධිපතිවරයා එතරම් මනාප වූයේ නැත.

එම නිසා පුවත්පත් කතුවරුන් කැඳවා මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කළේය. දිවා ආහාරයද සමග පුවත්පත් කතුවරුන්ගේ හමුව ජනාධිපති මන්දිරයේ සූදානම් කළ ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ මූලිකව කතා කළේ ය. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදයේ අලුත් තත්ත්වය ගැනද ප්‍රශ්න මතු විය. ‘‘එතුමා රජයේ සේවකයෙක්. දක්ෂ අවංක නිලධාරියෙක්. එතුමා ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති. ඉතින් කවුරු හරි එතුමාව අල්ලාගෙන ඇඟිල්ල දිගු කරලා චෝදනා කරනවා නම් එය වැරදියි.’’ ජනාධිපතිවරයා කීවේය.

‘‘එතකොට විමල් වීරවංශලා, ගම්මන්පිලලා, වාසුදේවලා වගේ අය මොකද කරන්නේ’’ පුවත්පත් කතුවරුන් විමසූහ. ‘‘ඇතැම් අය තමන්ගේ දුර්වලතා වහගන්නත් ගැලරියට කතා කරනවානේ ’’ ජනාධිපතිවරයා කීවේය. මෙම හමුවෙන් පසු ජනාධිපතිවරයා දිවා භෝජන සංග්‍රහයට පුවත්පත් කතුවරුන්ට ආරාධනා කළේ ය. ජනාධිපතිවරයා සමග සිරි රණසිංහ, මහින්ද ඉලේපෙරුම හා සිංහ රණතුංග යන පුවත්පත් කතුවරුන් ආහාර ගත්හ. මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් පී. බී.ගේ ප්‍රශ්නය ගැන යළි විමසීමට පුවත්පත් කතුවරුන් අමතක කළේ නැත.

‘‘මම පී. බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර ගත්තා. ජනවාරි 31 දක්වා ඉන්නවා කියා ලිපියේ සඳහන් වෙනවා. මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා මම අපහසුතාවට පත්වෙනවා. තවදුරටත් ඔහු ලේකම් ධුරයේ හිටියොත් මා සහ ඇමැතිවරු අතර දුරස්ථභාවයක් ඇති වෙනවා ’’ ජනාධිපතිවරයා කීවේය.

නව ජනාධිපති ලේකම් ලෙස අගමැති ලේකම් ගාමිණී සෙනරත් පත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේ ය. අගමැති ලේකම් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කරන බව හෙළි විය.

මෙම ප්‍රකාශය මාධ්‍යයේ පළවීමත් සමග අගමැති ලේකම් ගාමිණී සෙනරත් දුරකථනයෙන් අනුර දිසානායක අමතා තිබේ. ‘‘ඔබතුමා අගමැති ලේකම් ලෙස වැඩ භාර ගන්න ඕනේ.’’ ඔහු කීවේය. නව අගමැති ලේකම් අනුර දිසානායකට මෙන්ම නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දිගට හරහට සුබ පැතුම් ලැබුණි. කෙසේ වෙතත් අනුර දිසානායක ජනාධිපති ලේකම් ධුරයට සුදුසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමකදීද කරුණු දක්වා තිබුණි. නමුත් ඔහුට ලැබුණේ අගමැති ලේකම්කමය. මාතලේ උපන් අනුර දිසානායක මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. මහවැලි අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ලෙස රාජකාරී කර ඇති ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරය දැරූ කාලයේ ජනපති ලේකම් ධුරයට යෝජනා විය. ඒ ඔස්ටින් ප්‍රනාන්දු ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. එනමුත් ඒ මොහොතේ ජනාධිපති ලේකම් ලෙස පත් වූයේ උදය ආර්. සෙනෙවිරත්නය.

නව ජනපති ලේකම් ලෙස පත් වූ ගාමිණී සෙනරත් ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකි. මහින්ද රාජපක්ෂ යුගයේ විවිධ රාජ්‍ය ආයතන රැසක සභාපති ධුර දරා ඇති ඔහු එකල ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද රාජකාරි කළේ ය.

නව ලේකම්වරු දෙදෙනා ජනවාරි මාසයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සියලුම අමාත්‍යාංශවල ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන්ටද ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් වූයේ පසුගිය අඟහරුවාදා (28 වැනිදා) ය. ඊට සහභාගිවන ලෙස ආරාධනා පත්‍ර යොමුකර තිබුණේ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරය. එහෙත් සුහද හමුව ඔහු වර්ජනය කළේ ය. සුහද හමුව මෙහෙය වූයේ අගමැති ලේකම් ගාමිණී සෙනරත් වීමද විශේෂත්වයකි.

මෙම සුහද හමුවට ලේකම්වරුන්ගේ බිරින්දෑවරුන්ද සහභාගි වී සිටියහ. ජනාධිපතිවරයා සෑම මේසයකටම ගොස් ප්‍රශ්න, ගැටලු කතා කළේය. සෑම ප්‍රශ්නයකදීම ජනාධිපතිවරයා කියා සිටියේ ‘‘අලුත් ලේකම් එනවානේ. එයත් එක්ක කතා කරන්න.’’ යනුවෙනි. පී. බී. ජයසුන්දර ජනවාරි තුන්වැනිදාට ප්‍රථම ලේකම් ධුරයෙන් යන බවට වාර්තා වුවත් ඔහු නිවාඩු දමා කුරුණෑගල ප්‍රදේශයේ සිය නිවසට වී සිටින බවද වාර්තා වෙයි. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමෙරිකා සංචාරය නිමවා දිවයිනට පැමිණෙන තුරුය. පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ගැනීම මුදල් අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පී. බී. ජයසුන්දර ලේකම් ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපතිවරයා වෙත ලබා දුන් ලිපියද මෙතෙක් මාධ්‍යයට ලැබුණේ නැත. එම ලිපියෙන්ද අමාත්‍ය විමල් වීරවංශ දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව වාර්තා වෙයි.

උදයජීව ඒකනායක